මුද්‍රණය සඳහා

 
ඉන්දියාවේ බෞද්ධ සිද්ධස්ථානවල ශ්‍රී ලංකාවේ කාසි ටොන් විස්සක්

ඉන්දියාවේ බෞද්ධ සිද්ධස්ථානවල ශ්‍රී ලංකාවේ කාසි ටොන් විස්සක්

ඉන්දියාවේ බෞද්ධ සිද්ධස්ථානවල ශ්‍රී ලංකා කාසි ටොන් විස්සකට ආසන්න ප්‍රමාණයක් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මෙය ශ්‍රී ලංකාව ඇතුළත සංසරණය වන කාසි හිඟවීමට එක් ප්‍රධාන හේතුවක් බව ද එම බැංකුව පෙන්වා දෙයි.

ඒ අතරින් කාසි විශාල ප්‍රමාණයක් බුද්ධගයාවේ තිබෙන බව සඳහන් කරන ශ්‍රී ලංකා මහ බැංකුව ඉන්දියාවේ බෞද්ධ සිද්ධස්ථාන වන්දනාවේ යෙදෙන ශ්‍රී ලාංකීය බැතිමතුන් පඬුරු ලෙසින් පූජා කරන කාසි, මෙලෙස ඉන්දියාවේ ගොඩ ගැසී තිබෙන බව කියා සිටී.

බුද්ධගයාවේ පමණක් ශ්‍රී ලංකාවේ කාසි මෙට්‍රික් ටොන් දහයක් පමණ තිබෙන බව බුද්ධගයා කළමනාකරණ කමිටුව දන්වා තිබෙන අතර එම කාසි නැවත ශ්‍රී ලංකාවට ගෙන ඒම සම්බන්ධයෙන් සාකච්ඡා කර තීරණයක් ගත යුතු බව ද මේ වනවිට සාකච්ඡා ආරම්භ කොට තිබෙන බව ද ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.

ඉදිරියේ දී මෙම තත්වය වළක්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව බුද්ධ ශාසන අමාත්‍යාංශය සමඟ එක්ව ජනතාව දැනුවත් කිරීමට ද කටයුතු කරමින් සිටින බව මහ බැංකුව පවසයි.

මෙලෙස කාසි විවිධ ස්ථානවල එකතු වීම හේතුවෙන් විශාල මුදලක් දී කාසි නිෂ්පාදනය කිරීමට ද ශ්‍රී ලංකා මහා බැංකුවට සිදු වී ඇතැයි එම බැංකුව පෙන්වා දෙයි.

මහ බැංකු ඇස්තමේන්තු අනුව බිලියන දෙකකට අධික කාසි තොගයක් ශ්‍රී ලංකාවේ සංසරණය නොවී කැට සහ ලාච්චුවලට පමණක් සීමා වී තිබේ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2014 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]