සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනවශ්‍ය විදයම් කපා හැරලා

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනවශ්‍ය විදයම් කපා හැරලා

පසුගිය වසර දෙකට රු. මි. 100ක ඉතිරියක්

පසුගිය වසර දෙක තුළදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනවශ්‍ය වියදම් සියල්ල කපා හැරීමෙන් රුපියල් මිලියන සියයක ඉතිරියක් සිදුවූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

උත්සව පවත්වන විටදී තරු පහේ හෝටල් වෙනුවට සාමාන්‍ය ස්ථාන භාවිතා කිරීම, පිටතින් සහභාගී කර ගන්නා සංස්කෘතික කණ්ඩායම් වෙනුවට අමාත්‍යාංශයෙන්ම සංස්කෘතික කණ්ඩායමක් නිර්මාණය කිරීම, මුදල් කළමනාකරණයෙන් යුතුව භාවිතා කිරීම යනාදී හේතු මුල් කර ගනිමින් මේ මුදල් ඉතිරි කළ බව අමාත්‍යාංශය ප්‍රකාශ ක‍රයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූල්‍ය විනය ඉතාම ඉහළ මට්ටමක පවත්වා ගැනීම නිසා එවැනි මුදලක් ඉතිරි වූ බවත් මේ වසරේදී මූල්‍ය විනය පසුගිය වසර දෙකටත් වඩා හොඳින් පවත්වා ගැනීම අමාත්‍යාංශයේ අරමුණ බවත් සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසුවේය.

පසුගිය වසර දෙක තුළදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ උත්සව තරු පහේ හෝටල්වල ගන්නවා වෙනුවට මහරගම තරුණ සේවා සභාව, ශ්‍රී ලංකා පදනම් ආයතනය, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව යනාදියේ පැවැත්වීම සිදුකෙරිණි.

නිදහස් සෞඛ්‍ය සේවාව පවත්වාගෙන යාම සඳහා මෙවර අයවැයෙන් වෙන් කළ මුදලෙන් සියයට 95 ක් මේ වන විටත් ලැබී ඇති බව ද අමාත්‍යාංශය පවසයි. මූල්‍ය විනය ඉතාම ඉහළ මට්ටමකින් පවත්වාගෙන යෑම නිසා අනවශ්‍ය මුදල් නාස්තිය වළක්වා ගත හැකි ය.

හිටපු විගණකාධිපතිවරයකුගේ අධීක්ෂණය යටතේ මුදල් කළමනාකරණය සම්බන්ධයෙන් නිලධාරීන්ට විශේෂ පුහුණුවක් ද ලබා දී ඇත. ඒ අනුව දැඩි මූල්‍ය විනයක් පවත්වා ගෙන යාමෙන් අනවශ්‍ය මුදල් නාස්තිය වළක්වා ගැනීම සාර්ථකව සිදු කළ හැකි බව ද ඇමැතිවරයා පවසයි.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා