ඕසෝන් ක්ෂයකාරක ද්‍රව්‍ය ආනයනය තහනම් කෙරේ

ඕසෝන් ක්ෂයකාරක ද්‍රව්‍ය ආනයනය තහනම් කෙරේ

වසරකට සියයකට 20ක් බැඟින් වන සේ වසර 2020 වන විට ඕසෝන් ක්ෂයකාරක ද්‍රව්‍ය අඩංගු උපකරණ භාවිතය හා ආනයනය සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට රජය තීරණය කර තිබේ.

මේ පිළිබඳව පැවැති සාකච්ඡාවකදී පරිසර හා පුනර්ජනනීය බලශක්ති ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා අදාළ අංශවලට උපදෙස් දී තිබේ. ඒ අනුව ලබන වසරේ සිට ඕසෝන් වියන හානිවීමට බලපාන ඕසෝන් ක්ෂයකාරී හයිඩ්‍රො ක්ලෝරෝ ෆ්ලෝරෝ කාබන් වැනි රසායනික ද්‍රව්‍ය සහිත නවීන ශීතකරණ හා වායුසමන

යන්ත්‍ර ද මෙරටට ගෙන්වීම පාලනයකට ලක් කෙරේ. 2010 දී ආරම්භ කළ මෙම වැඩපිළිවෙළ යටතේ ක්ලෝරෝ ෆ්ලෝ‍රොකාබන් (CFC) අඩංගු භාවිත කරන ලද භාණ්ඩ හා සුවඳ විලවුන් වැනි ද්‍රව්‍ය ගෙන්වීම නතර කෙරිණි.

ශ්‍රී ලංකාව ඇතුළු රාජ්‍යයන් 197ක් පාර්ශ්වකරුවන් වෙමින් ක්‍රියාත්මක වන ඕසෝන් ක්ෂයකාරක ද්‍රව්‍ය භාවිතයෙන් තුරන් කිරීම සඳහා වන මොන්ට්‍රියල් සංවිධානයේ නියමයන්වලට අනුකූලව ඕසෝන් ස්ථරයට හානි කරන රසායනික ද්‍රව්‍යයන් 96කින් 54ක් මේ වන විට ශ්‍රී ලංකාව තුළට ආනයනය සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත. ඒ අතරින් රසායන 40ක් අන්තර්ගත වන HCFC ඛාන්ඩයේ වායූන් මඟින් ක්‍රියාකරන පැරණි හා භාවිත කළ ශීතකරණ හා වායුසමන යන්ත්‍ර 2013 ජනවාරි මස 01 වැනිදා සිට ශ්‍රී ලංකාවට ආනයනය කිරීම පාලනය කර තිබේ. මේ අනුව වසර 2030 වන විට ඕසෝන් ක්ෂයකාරක ද්‍රව්‍ය හා උපකරණ ශ්‍රී ලංකාවට ගෙන්වීම සම්පූර්ණයෙන්ම නවතා දැමීමට හැකි වනු ඇත.

එසේම මෙම වැඩපිළිවෙල හා සමාගමීව මෙවර දකුණු ආසියානු කලාපයේ සියලුම රටවල ඕසෝන් වියන සුරැකීම සඳහා වන මොන්ට්‍රියල් සංවිධානයේ නිලධාරීන්ගෙන් සමන්විත රැස්වීමක් (NetWork Meeting) 2014 මැයි මස 27 වනදා සිට 31 වනදා දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතය.

මෙම රැස්වීමට නිරීක්ෂණ මට්ටමින් ඇමෙරිකා එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව, ජපානය, යුරෝපා පාර්ලිමේන්තුවේ නියෝජිත පිරිසක් ඇතුළු නියෝජිතයින් 40ක් පමණ සහභාගී වීමට නියමිතය. මෙහි ප්‍රධාන රැස්වීම පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය ගරු සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා උපදෙස් පරිදි පැවැත්වීමට නියමිතය. සමස්ත කලාපය තුළ ඕසෝන් වියනට හානි කරන අ හිතකර වායූන් හා අහිතකර උපකරණ පාලනයට ජාත්‍යන්තර උපදෙස් හා සහයෝගය මෙම රැස්වීම මඟින් අපේක්ෂා කෙරේ.

පරිසර හා පුනර්ජනනීය අමාත්‍යාංශයේ ලේකම් බී.එම්. යූ.ඩී. බස්නායක මහතා, ජාතික ඕසෝන් ඒකකයේ අධ්‍යක්ෂ ජී.එම්.ජේ. කේ. ගුණවර්ධන මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් මෙම සාකච්ඡාව සඳහා එක්ව සිටියහ.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා