රට යන්න සහන මිලට වාර්තා දෙන්න වෛද්‍ය මධ්‍යස්ථානයක් අද විවෘත කෙරේ

රට යන්න සහන මිලට වාර්තා දෙන්න වෛද්‍ය මධ්‍යස්ථානයක් අද විවෘත කෙරේ

විදේශගතවන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට සහන මිලට වෛද්‍ය වාර්තා ලබාගැනීමට හැකිවන පරිදි ශ්‍රී ලංකාවේ පළමු වෛද්‍ය මධ්‍යස්ථානය අද (09) විවෘත කෙරේ. විදේශ රැකියා සඳහා පිටත්වීමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයන්ට වඩා විධිමත් හා කාර්යක්ෂම සේවාවක් ලබාදීමේ අරමුණින් මෙය ස්ථාපිත කළ බව ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි ආයතනයේ සභාපති සේනක අබේගුණවර්ධන මහතා පවසයි.

නාවල, නාරාහේන්පිට පාරේ අංක 12 ස්ථානයේ මෙය ස්ථාපිත කර තිබෙන අතර එමඟින් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට ඉහළ සේවාවක් සපයන බවද රජයේ ලියාපදංචි වෛද්‍යවරුන්ගේ සේවය මෙහිදී ලබාගත හැකි බවද ඒ මහතා සඳහන් කරයි.

රැකියා සදහා විදේශගතවන ශ්‍රමිකයන් සඳහා සෞඛ්‍ය වාර්තා ලබාගැනීම මේ දක්වා පෞද්ගලික අංශයේ වෛද්‍ය මධ්‍යස්ථානවලින් සිදුකෙරුණු අතර මේ මධ්‍යස්ථානය විවෘත කිරීමත් සමග ඔවුනට අවශ්‍ය වෛද්‍ය වාර්තා පහසුවෙන් ලබාගැනීමේ හැකියාව තිබෙන බවද හෙතෙම පෙන්වාදෙයි.

ඇතැම් වෛද්‍ය මධ්‍යස්ථාන නිකුත් කරන වෛද්‍ය වාර්තා සත්‍යයෙන් තොරවීම හේතුවෙන් විදේශ රටවලට යන ශ්‍රමිකයන්ට මෙන්ම විදේශ රැකියා ආයතනවලටද විවිධ දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුව තිබෙන අතර වසරකට විදේශගත වන ලක්ෂ 3ක් පමණ වන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගෙන් සියයට 10කට පමණ වැරදි හා අසත්‍ය සෞඛ්‍ය වාර්තාවලින් විදේශගත වීම නිසා යළි මෙරටට පැමිණීමට සිදුවන බවට අනාවරණය වී තිබේ.

මෙහි දී ලබාගන්නා වෛද්‍ය වාර්තාවලින් විදේශගත වන ශ්‍රමිකයන් එම රටවල්වල දී ද නැවත සෞඛ්‍ය පරීක්ෂණයකට ලක්වන නිසා අසත්‍ය වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරන්නේ නම් එහි දී ඒ බව හෙළිවීමෙන් ශ්‍රමිකයා පමණක් නොව ඔහු විදේශගත කළ රැකියා නියෝජිත ආයතනය ද අපහසුතාවන්ට ලක්වේ.

ඒ තත්ත්වය තුළ රටේ කීර්තිනාමයට ද හානි පැමිණෙන හෙයින් විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන ඇමැති ඩිලාන් පෙරේරා මහතාගේ උපදෙස් පරිදි විදේශගත වන ශ්‍රමිකයන්ට අඩු මුදලට සත්‍ය වෛද්‍ය වාර්තා ලබාගැනීමට රජයේ වෛද්‍ය මධ්‍යස්ථානයක් පිහිටුවීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව මෙම වෛද්‍ය මධ්‍යස්ථානය ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි ආයතනය මඟින් ඇමැති ඩිලාන් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ.

 

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා