ගෙවතු වගාවන්ට අතදී ග්‍රාමීය ආර්ථිකය ඉහළ නැංවීම දිවි නැඟුමේ අරමුණයි

ගෙවතු වගාවන්ට අතදී ග්‍රාමීය ආර්ථිකය ඉහළ නැංවීම දිවි නැඟුමේ අරමුණයි

 ඇමැති ආචාර්ය සරත් අමුණුගම

රටට විදේශ විනිමය ලබාදෙන විදේශ රැකියා ඇඟලුම් කර්මාන්තය සහ තේ කර්මාන්තයට අමතරව ග්‍රාමීය ස්වයං රැකියා සහ ගෙවතු වගා වැඩිදියුණු කිරීමට අතහිතදී දේශීය ග්‍රාමීය ආදායම ඉහළ නැංවීම දිවි නැඟුම වැඩසටහනේ ප්‍රමුඛ අරමුණ බව ජාත්‍යන්තර මූල්‍ය සහයෝගිතාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ ඇමැති සහ මුදල් නියෝජ්‍ය ඇමති ආචාර්ය සරත් අමුණුගම මහතා 3දා හතරලියද්දේදී පැවසීය.

දිවි නැඟුම දෙපාර්තමේන්තුව පිහිටුවීම වෙනුවෙන් 3 දා හතරලියද්ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවති ජන හමුවේදී ඇමැතිවරයා එසේ පැවසීය.

එහිදී ඇමැති අමුණුගම මෙසේද පැවසීය.

අද රටට ඇමෙරිකානු ඩොලර් මිලියන 7ක ආදායමක් විදේශ ශ්‍රමිකයන් හරහා ලැබෙනවා. ගෘහසේවිකා සහ කම්කරු ආදි විදේශ රැකියාවලට වඩා ඉහළ ආදායම් සහිත තොරතුරු තාක්ෂණය හා නවීන විද්‍යානුකූලව අද සමාජයට ගැළපෙන විදේශ රැකියා සඳහා උගත් බුද්ධිමත් පිරිස් යැවීමෙන් ඉදිරියේදී මේ ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 10 දක්වා ඉහළ නැංවීමට රජය අපේක්ෂා කරනවා.

ඇඟලුම් කර්මාන්තයෙන් තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 3ක ආදායමක් සහ තේ කර්මාන්තයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 1 ½ක ආදායමක් රටට ලැබුණත් ග්‍රාමීය ආර්ථිකය වැඩි දියුණු කිරීමෙන් විශාල ආදායමක් උපයා ගැනීමට වැඩපිළිවෙළක් පසුගිය අයවැයෙන් යෝජනා කර තිබෙනවා.

මේ අනුව සෑම ග්‍රාමනිලධාරි වසමකම ගෙවතු වගා දියුණුකර හොඳම ගෙවත්තට රු 10,000 බැගින් සහ සම්මාන ලබාදීමටත් කුඩා ස්වයං රැකියා ව්‍යාපාර පවත්වාගෙන යන කාන්තාවන්ට රුපියල් ලක්ෂ 2½ක පොලී රහිත ණයක් ඇප බැඳුම්කර නැතිව ලබා දීමටත් රජය කටයුතු කර තිබෙනවා. එවිට ගමේ කුඩා කර්මාන්ත දියුණු වී ගමේ රැකියා වැඩිවෙනවා.

මේ නිෂ්පාදන නගරයේ වෙළඳ පොළට ගෙන ඒම සඳහා ග්‍රාමීය මාර්ග කාපට් කර වැඩිදියුණු කර තිබෙනවා.

අද මේ ශාලාවට රැස්ව සිටින සමෘද්ධි නිලධාරි නිලධාරිනියන් ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට අනුයුක්ත උපාධිධාරී මහත්ම මහත්මීන් ග්‍රාමීය ආර්ථිකය නැංවීමට ගමේ කාන්තාවන්ට උදව් කළ යුතුයි.

තුම්පනේ ප්‍රාදේශීය සභාවේ සභාපති ලාල් ගිරිහාගම හතරලියද්ද ප්‍රාදේශීය ලේකම් කීර්ති සිරිවර්ධන මහත්වරුද මේ අවස්ථාවට සහභාගි වූහ.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා