පාසල්වලට සිසුන් ඇතුළත් කිරීමේ දී මුදල් රැස්කිරීම වළකාලීමට රජයේ අවධානය යොමුවිය යුතුයි

පාසල්වලට සිසුන් ඇතුළත් කිරීමේ දී මුදල් රැස්කිරීම වළකාලීමට රජයේ අවධානය යොමුවිය යුතුයි

ජාතික ගුරුසභා‍වේ සභාපති නිමල් ප්‍රේමවංශ

පාසල්වලට පළමු ශ්‍රේණියේ සිට සිසුන් ඇතුළත් කිරීමේදී නිශ්චිත ක්‍රමවේදයෙන් බැහැරව මුදල් රැස්කිරීම වළකාලීම පිණිස රජයේ අවධානය යොමුවිය යුතුව ඇතැයි ජාතික ගුරුසභාවේ සභාපති නිමල් ප්‍රේමවංශ මහතා පවසයි.

පාසල් නඟාසිටුවීමේ නියාමන වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස 2008 / 35 චක්‍රලේඛය මඟින් ලබාදී ඇති අවසරය මත කටයුතු කිරීමේදී ඇතැම් පාසල් මේ අයථා කටයුතු සිදුකරන්නේයැයි හෙතෙම චෝදනා කර සිටී.

මාධ්‍යවේදීන් හමුවේ එම චෝදනා ඉදිරිපත් කළ නිමල් ප්‍රේමවංශ මහතා මහනුවර පාසල් දෙකක් පිළිවෙළින් රුපියල් හැටදහසක් හා විසිදහසක් විනිවිද භාවයෙන් තොරව ලබාගෙන ඇතැයි පැවසූ අතර, එක් පාසලක් එම මුදල් බැංකු ගිණුමකට බැරකොට ලබාගෙන තිබූ රිසිට්පතක්ද ගෙනහැර දැක්වීය.

මින් එක් පාසලක විදුහල්පතිවරයා ප්‍රමුඛ අදාළ වගකිවයුත්තන් තමන් හමුවට කැඳවා දැඩි ලෙස අවවාද කිරීමට මධ්‍යම පළාතේ ආණ්ඩුකාරවර ටිකිරි කොබ්බෑකඩුව මහතා ගත් පියවර අගයන බව පැවසූ හෙතෙම එවැන්නක් අවවාද කිරීමකට සීමා නොකොට ඔවුනට දැඩි දඬුවම් ලබාදිය යුතු යැයිද එසේ නොමැතිනම් එය වැරැදි පූර්වාදර්ශ සැපයීමක් වන්නේ යැයිද කීය.

එම චක්‍රලේඛයේ අනුහසින් අයථා ලෙස පාසල්වලට මුදල් ලබාගැනීමට විවිධ ක්‍රමවේද සකසාගෙන ඇතැයි කී ඒ මහතා ක්‍රීඩා ගුරුවරුන් සිටියදී බාහිර සම්පත් දායකයන් ලබාගැනීම යුද්ධය නිමවී පැවතියද ආරක්ෂක සේවා සඳහා විශාල පිරිසක් යොදාගැනීම මඟින් දෙමාපියන් වෙතින් ශිෂ්‍ට නොවන අයුරින් මුදල් අයකරන්නේ යැයිද පැවසීය.

මේ අක්‍රමිකතා මැඩලීමට රජය ජාතික වගකීමෙන් යුතුව කටයුතු කළ යුතුව ඇතැයි කී සභාපතිවරයා එම චක්‍රලේඛය අහෝසිකොට පාසල්වල කටයුතු සඳහා රාජ්‍ය භාණ්ඩාගාරයෙන් මුදල් ප්‍රතිපාදන ලබාදිය යුතු බවත්, එය 06% දක්වා වැඩිවිය යුතු බවත් වැඩිදුරටත් කීය.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා