මහව ලිංගික අල්ලස් සිද්ධියේ ස්ථානාධිපති 13 තෙක් රිමාන්ඩ්

මහව ලිංගික අල්ලස් සිද්ධියේ ස්ථානාධිපති 13 තෙක් රිමාන්ඩ්

පැමිණිල්ලට සහනයක් සලසා දෙන බව පවසා පැමිණිලිකාරිය කුරුණෑගල වැව රවුම පාරේ රන්තලිය තනායමට කැඳවාගෙන ගොස් ලිංගික අල්ලසක් ලබා ගැනීමට ගත් උත්සහයක දී අත්අඩංගුවට ගත් මහව පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශණ අංශයේ ස්ථානාධිපතිවරයා මේ මස 13වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඊයේ (8) නියම කළේය.

මහව පොලිසියේ අපරාධ අංශයේ පොලිස් පරික්ෂක අංක 96 .මහවැලි කඳවුර .තඹුත්තේගම පදිංචි අලහකොන් මුදියන්සේලාගේ අසිතගෝමි අලහකොන් නමැත්තා මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

සැකකරු වෙනුවෙන් පෙනී සිටී නීතිඥ ආනන්ද හෙට්ටිආරච්චි මහතා පවසා සිටි‍යේ සිද්ධියට පාදක වු පැමිණිල්ල සුළු පැමිණිලි අංශයට අයත් පැමිණිල්ලක් බවත් පොලිසියට ආ ගිය අවස්ථාවේ දී ඇති වු හිතවත්කම අනුව වැව රවුමේ තනායමට පැමිණිලිකාරිය රැගෙන ගිය අතර කාමරය තුළ දී නොව පිටත දී අත්අඩංගුවට ගැනීම සිදු කළ බවය.

අල්ලස් නිලධාරි චන්ද්‍රසිරි මහතා මෙහිදී පවසා සිටියේ සැකකරු පැමිණිලිකාරියගේ දුරකථන අංකය ලබා ගෙන කිහිපවතාවක්ම ඇයට දුරකථන ඇමතුම් ලබා දී ඇයගේ නිවසට ද කිහිපවතාවක්ම ගිය බවය.

තවද කොමිසම වෙත පැමිණිලි කළ ඇය සැකකරු සමඟ කුරුණෑගල රන්තලිය තනායමට යෑමට එකඟ වී උපාය දුතයකු සමඟ එහි ගිය බවත් අඹු සැමියන් ලෙස හැසීරීමට සූදානම් වෙද්දී සැකකරු කාමරය තුළ දී අත්අඩංගුවට ගත් බවය.

විනිසුරු - රන්තලිය තනායමට ගියේ ඇයි ?

සැකකරු - ඇය රවටා ගෙන මා ගෙන ගියා.

2013/12/25 වැනි දින පැමිණිලිකාරිය කොමිසම වෙත පැමිණිලි කරමින් පවසා ඇත්තේ සිය ඥාතින් සම්බන්ධයෙන් පැවැති ආරවුල් සඳහා නිතර පොලිසිය වෙත ගිය අතර තමා සමඟ කතා බස් කළ ස්ථානාධිපතිවරයා තමාගේ දුරකථන අංකය ඉල්ලා ගත් බවය.

ඇමතුම් ලබා දුන් සැකකරු පසුව නිවසට පැමිණෙන්න විමසු බවත් දිනක් බලහත්කාරයෙන් ම නිවසට පැමිණි ඔහු "ඔයා බයවෙන්න එපා පැටියෝ සේරම ප්‍රශ්න විසඳලා දෙන්නම් "කියා නිවසට ඇතුළු වෙන්න උත්සාහ කළ අතර "වැරදිකරුවන් නිවැරැදි කරන්නත් නිවැරැදිකරුවන් වැරැදිකරුවන් කරන්න පුළුවන් බව පවසා උත්තරයක් නොදුන්නොත් වැඩ වරදින බවට "තර්ජනය කොට ඔහු පිටත්ව ගිය බවට ඇයගේ පැමිණිල්ලේ සඳහන්ය.

අදාළ කරුණු සළකා බැලු මහෙස්ත්‍රාත්වරයා සැකකාර ස්ථානාධිපතිවරයා මේ මස 13වැනිදින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කළේය.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා