පලස්තීනයේ තැනුණු මහින්ද රාජපක්ෂ වෘත්තීය අභ්‍යාස ආයතනය ජනපති සුරතින් ඇරේ

පලස්තීනයේ තැනුණු මහින්ද රාජපක්ෂ වෘත්තීය අභ්‍යාස ආයතනය ජනපති සුරතින් ඇරේ

පලස්තීනයේ බෙටුනියා නගරයේ ඉදිකෙරුණු මහින්ද රාජපක්‍ෂ වෘත්තීය අභ්‍යාස මධ්‍යස්ථානය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ අතින් විවෘත කෙරේ.

සිය පලස්තීන සංචාරය අතරතුර ජනාධිපතිවරයා මේ මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට 06 වැනි දා එක් විය.

වෘත්තීය අභ්‍යාස මධ්‍යස්ථානය සඳහා අරමුදල් සම්පාදනය කරනුයේ ශ්‍රී ලංකා රජය විසිනි. ශ්‍රී ලංකාව බෙටුනියා මහ නගර සභා පුස්තකාලයට පොත් සහ පරිගණක පරිත්‍යාග කළේය.

සංචාරක ව්‍යාපාරය වැනි ශ්‍රී ලංකාවට විශේෂඥ දැනුමක් ඇති ක්ෂේත්‍රවල පුහුණු වැඩසටහන් හඳුන්වා දීමෙන් අභ්‍යාස මධ්‍යස්ථානය තවදුරටත් සංවර්ධනයට නිලධාරීන් ක්‍රියාකරනු ඇත.

පලස්තීන විදේශ ඇමැති රියාද් අල්-මලිකි මහතා සමඟ පැමිණි ජනාධිපතිවරයා සහ ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්‍ෂ මහත්මිය බෙටුනියා පුරපති රිබී ඩබ්ලිව්. දෝලා සහ රමල්ලා ආණ්ඩුකාර ආචාර්ය ලයිලා ඝමම් මහත්වරුන් විසින් පිළිගනු ලැබිණ‍.

ජනාධිපතිතුමා සහ ආර්යාව පිළිගැනීමට බෙටුනියා මහ නගර සභාවේ නියෝජිතයෝ සහ ශ්‍රී ලංකා පලස්තීන මිත්‍රත්ව සංගමයේ සාමාජිකයෝ රැස්ව සිටියහ.

අභ්‍යාස මධ්‍යස්ථානය විවෘත කිරීමෙන් අනතුරුව බෙටුනියා මහ නගර සභා උද්‍යානය වෙත ගිය ජනාධිපතිවරයා එහි ඔලිව් පැලයක් රෝපණය කළේය. ඉන්පසු ශ්‍රී ලංකා නියෝජිත කාර්යාලය වෙත ගිය ජනාධිපතිතුමා සහ ආර්යාව, කාර්යාලය අබියසින් දිවෙන ජනාධිපතිතුමා නමින් නම් කර ඇති මාවත දැක ගත්හ.

ශ‍්‍රී ලංකා පලස්තීන සහයෝගිතා කමිටුවේ ආරම්භක සභාපතිවරයා ලෙස ජනාධිපති රාජපක්‍ෂ මහතා කළ මෙහෙවරට උපහාර පිණිස මේ මාර්ගය 2007 නොවැම්බර් මස අතිගරු මහින්ද රාජපක්‍ෂ මාවත ලෙස නම් කෙරිණ.

පලස්තීන ජනයාගේ ජීවනෝපාය නැංවීමට සහ ඔවුනට යහපත් අනාගතයක් උදා කිරීමට දායක වීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමාට සිය කෘතඥතාව පළ කරන බව එරට විදේශ ඇමැති මලිකි මහතා පැවසීය. වෙනත් රටක ජනාධිපතිවරයෙක් මෙවන් ආකාරයක මෙහෙවරක් සඳහා ශක්තිය කැප කිරීම විශිෂ්ට ලක්‍ෂණයක් බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

ජනාධිපති රාජපක්‍ෂ මහතා විශේෂ, විශේෂ, විශේෂ ආගන්තුකයෙක් ලෙස හැඳින්වූ පලස්තීන විදේශ අමාත්‍යවරයා ජනාධිපතිතුමාගේ චාරිකාව සෑම අතින්ම ඓතිහාසික යයි පැවසීය. එය ශ්‍රී ලංකාව සහ පලස්තීනය අතර සුවිශේෂ සබඳතාවේ කඩඉමක් සලකුණු කරන්නක් බව මලිකි මහතා කීය.

මෙහි පැමිණීමට පමණක් නොව පලස්තීන ජනයා සමග අදහස් හුවමාරු කර ගැනීමටත් ඔවුන්ගේ දුක් පීඩා පමණක් නොව ඔවුන්ගේ ශක්තිය සහ අධිෂ්ඨානය තේරුම් ගැනීමටත් කාලය වැය කිරීම පිළිබඳ ජනාධිපතිවරයාට සිය ස්තුතිය පුද කළ ඇමැතිවරයා ඔබේ සුහදතාව, ඔබේ උපකාරය සහ පලස්තීනය කෙරෙහි ඔබේ ආදරය පිළිබඳව ඔබට ස්තුතියි කරන බව පැවසීය.

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස්, විදේශ අමාත්‍යංශයේ අධීක්‍ෂණ මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධ, පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ සහ ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග යන මහත්වරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීනී කමලා රණතුංග මහත්මිය ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා