වතුර කලයට වස දැමූ දෙදරු පියා අත්අඩංගුවට

වතුර කලයට වස දැමූ දෙදරු පියා අත්අඩංගුවට

බිරිය, දරුවන් දෙදෙනා හා නැන්දනිය මරා දැමීමට වතුර කලයට අධික විස සහිත කෘෂි රසායනයක් මිශ්‍ර කළ බවට සැකපිට පුද්ගලයකු මහවිලච්චිය පොලීසිය මගින් අද (9) අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පන්සල පාර, පේමඩුව, මහවිලච්චිය ලිපිනයේ පදිංචි 47 හැවිරිදි දෙදරු පියෙකි.

සැකකරු පේමඩුවේ පිහිටි නිවසේ සැඟව සිටිය දී මහවිලච්චිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

වස මිශ්‍ර ජලයෙන් තේ සාදා පානය කළ 24 හැවිරිදි බිරිය, 65 හැවිරිදි නැන්දම්මා සහ වයස අවුරුදු 4 මාස 6ක් වන සැකකරුගේ දියණිය මේ වන විට මහවිලච්චිය රජයේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව පොලීසිය කියයි.

සැකකරුගේ බිරිය ඉකුත් 7දා ඔහු සමඟ අමනාප වී දරුවන් දෙදෙනා සමඟ තන්තිරිමලය දන්ගහවැවැ ප්‍රදේශයේ පිහිටි මවගේ නිවසට පැමිණ ඇත. සැකකරු එදින රාත්‍රීයේ දන්ගහවැව පිහිටි නිවසට පැමිණ දරුවන් දෙදෙනා රුගෙන යෑමට උත්සහ දරා ඇති අතර දරුවන් දෙදෙනා රැගෙන යෑමට බිරිය ඉඩ නොදීම නිසා දෙදෙනා අතර බහින් බස් වීමක් සිදුවී ඇත. ඉන්පසු සැකකරු නිවසේ මුලුතැන්ගෙයි තිබු බීමට ගන්නා ජලය සහිත කලයට වස මුසු කරන්න ඇති බවට පොලීසිය සැක පහළ කරන අතර දෙදෙනා අතර බහින් බස් වීම සිදු වු අවස්ථාවේ මව නිවසින් බැහැරව හේනට ගොස් සිටි බවද පොලීසිය පවසයි.

පසු දා උදෑසන වස මුසු කළ කලයේ තිබු ජලයෙන් නිවසේ සිටි පිරිස තේ සාදා පානය කරද් දී සැකකරුගේ බිරියට තේ කෝපප්යේ යම් වෙනස් රසයක් ඇති බවට දැනීම නිසා වතුර කලය පරීක්ෂා කර බලද් දී එහි ජලය රතු පැහැ ගැන්ව තිබී ඇත.

ස්වල්ප වේලාවකින් මෙම තිදෙනාට ක්ලාන්ත ගතිය ඇති වී තිබෙන අතර ප්‍රදේශවාසීන්ට මේ බව පැවසීමෙන් පසු ඔවුන් තිදෙනාව රෝහල් ගත කර ඇත.

කෘමි සතුන් මර්දනය කිරීමට යොදන අධික විෂ සහිත කැට වර්ගයක් ජලයට මුසු කර තිබු බව පරීක්ෂණ කරන පොලීසිය පවසයි.

වස මුසු ජලය පානය කිරීමෙන් රෝගීව ඇත්තේ දන්ගහවැව තන්තිරිමලය ලිපිනයේ පදිංචි වන්නිහාමිගේ රන්මැණිකා (65) ගුණවර්ධනගේ ශ්‍රියානි ගුණවර්ධන (24) හා ඉර්ෂනී රාජපක්ෂ (4 ) අයවලුන්ය.

සැකකාර සැමියා ඊයේ (9) අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබු අතර මහවිලච්චිය පොලීසියේ ස්ථානාධිපතිපති පොලිස් පරීක්ෂක ඩී.එම් කුමාරසිංහ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් වැඩිදුර පරීක්ෂණ සිදු කරති.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා