නත්තල් දා රාත්‍රී කඩමණ්ඩියට ගිය හමුදා සෙබළාගේ මරණය සැක සහිතයි

නත්තල් දා රාත්‍රී කඩමණ්ඩියට ගිය හමුදා සෙබළාගේ මරණය සැක සහිතයි

නත්තල් දා රාත්‍රියේ නිවසින් අතුරුදන්ව සිටි යුද හමුදා සෙබළකුගේ මළ සිරුරක් නිවසට නුදුරු ඇළක මඩේ එරී තිබියදී ප්‍රදේශවාසීන් විසින් සොයාගනු ලැබීය.

මෙසේ මියගොස් ඇත්තේ අරණායක පොලිස් බල ප්‍රදේශයට අයත් මෝරාගම්මන පදිංචිව සිටි ජයකොඩි ආරච්චිගේ දමිත් අනුරුද්ධ නැමැති (29) තරුණයෙකි.

අඹේපුස්ස යුද හමුදා කඳවුරේ සේවය කරමින් සිට වසර 12ක සේවා කාලය සම්පූර්ණවීම නිසා විශ්‍රාම ගැනීමට ඉල්ලුම්කර නිවාඩුවට නිවෙසට පැමිණ සිටි මොහු නත්තල් දා රාත්‍රී 9.00ට පමණ කඩමණ්ඩිය දෙසට යන බව පවසා ගෙදරින් පිටවී ගිය බවත් අලුයම වනතුරු ඔහු නිවසට නොපැමිණි නිසා අසල්වැසියන් හා එක්ව සොයා බැලීමේදී පසුදින දහවල් ගමේ කෙළවර පිහිටි අරුප්පොළ ඇළේ කෙටල හා මානා වැනි පඳුරුවලින් වැසීගිය පාළු ස්ථානයක තිබියදී මළ සිරුර සොයාගත් බව මියගිය සෙබළාගේ මවුපියෝ පවසති.

මේ මරණය ගැන සැකයක් පවතින බව සෙබළාගේ මවුපියෝ පවසති.

මාවනැල්ල මහේස්ත්‍රාත් චාන්දනී මීගොඩ මහත්මිය එම ස්ථානයට ගොස් නිරීක්ෂණ සටහන් කරගත් අතර මළ සිරුර කෑගල්ල මහරෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කර ඒ පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා අධිකරණයටඉදිරිපත් කරන ලෙස අරනායක පොලිසියට නියෝග කළාය.

කෑගල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී සී.කේ. රාජගුරු මහතා ස්ථානය පරීක්ෂා කර බැලීමෙන් පසුව මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා කෑගල්ල මහ රෝහලේ මෘත ශරීරාගාරය වෙත ගෙන යනු ලැබීය. පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ලැබුණු පසුව වැඩිදුර පරීක්ෂණ පැවැත්වීමට නියමිතය.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා