ගීතා නන්දනීට නැවැත ජගත් තරග බිමට යන වරම්

ජාතික ඇවිදීමේ ශූරියට ජනාධිපති සමාව

ගීතා නන්දනීට නැවැත ජගත් තරග බිමට යන වරම්

ජාතික ඇවිදීමේ ශූරිය ලෙස වාර්තා පිට වාර්තා තැබු ගීතා නන්දනී ක්‍රීඩිකාව ආගමන විගමන පනතේ වගන්ති උල්ලංඝණය කිරීම හේතුවෙන් පනවන ලද දඬුවම් සම්බන්ධව ජනාධිපති සමාව හිමි වෙයි.

එම වරද සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34වැනි වගන්ති ප්‍රකාරව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමාව ප්‍රදානය කර ඇත්තේ ජාතික ඇවිදීමේ ශූරිය කරන ලද අභියාචනාවක් සැලකිල්ලට ගෙනය. ඒ අනුව ගීතා නන්දනී ක්‍රීඩිකාවට මෙතෙක් පනවා තිබු විදෙස් තරගවලට සහභාගිවීමේ සියලු බාධා ඉවත්වන අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අන්තර්ජාතික තරග බිමට පිවිසීමේ අවස්ථාව උදාවේ.

වසර 2008දී ගීතා නන්දනී ඇතුලු ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් ආගමන විගමන පනත උල්ලංඝණය කිරීමේ චෝදනාවලට ලක්වී මාස 6ක් බන්ධනාගාර ගත වුහ. එහිදී ඇය සේවක කළ නාවික හමුදාවේ රැකියාවද අහිමිවු අතර දේශීය තරගවලට සහභාගිවීමේ අවස්ථාව පමණක් උදාවිණි.

වසර 2003 සිට පසුගියක වසර තෙක් ජාතික ඇවිදීමේ ශූරිය ලෙස කිරුළ පැළදි ඇයට අධිකරණ කටයුතු හේතුවෙන් 2009දී පමණක් තරග කිරීමට නොහැකි විය.

වසර 2006දී කොළඹ පැවැති ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේදී කිලෝමීටර් 20 තරග ඇවිදීමේ ඉසව්ව පැය 1:30.11කින් නිමකර ශ්‍රී ලංකා වාර්තාවද බිහි කිරීමට සමත් වුවාය. 2008දී ඔලිම්පික් ක්‍රීඩා උළෙල නියෝජනය කළ ගීතා නන්දනී ලෝක ශූරතා මලල ක්‍රීඩා උළෙල අවස්ථා 3කදී නියෝජනය කළ අතර 2008‍ දෝහා කටාර් ආසියානු ක්‍රීඩා උළෙලටද එක්වුවාය. ජනාධිපති සමාව හිමිවීමෙන් තම ක්‍රීඩා දිවියට අලුත් ජවයක් හිමිවු බව ගීතා නන්දනී 'දිනමිණ'ට පැවැසුවාය.

“අපි වැනි ගමේ ක්‍රීඩිකාවන් කෙරෙහි ජනාධිපතිතුමා දක්වන සහයෝගයට ගොඩක් ස්තූති කළ යුතුයි. ජනාධිපති නීති කාර්යාංශයේ තිලංග වීරසිංහ, සේපාල රත්නායක මහත්වරුන්ටත් තිත්තදෙනිය මහත්මියටත් ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම අධිකරණ ඇමැති රවුෆ් හකීම් මහතා ඇතුලු සියලු දෙනාටත් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපති මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු, සුනිල් ගුණවර්ධන, චන්දන ඒකනායක යන මහත්වරු මා ගැන සොයා බැලුවා. ඒ වගේම මට ධෛර්යක් වු උපාලි රාජපක්ෂ මහතාටත් ගෞරවය පුදනවා” ජාතික ඇවිදීමේ ශූරිය පැවැසුවාය.

හොරණ කහටපිටියේ ඔලබොඩුව ගම්මානයේ නිවසක අඩු පහසුකම් සහිතව ජීවත්වන මේ දක්ෂ ක්‍රීඩිකාවගේ එකම පැතුම වන්නේ අන්තර්ජාතික තරගයකදී පදක්කමක් දිනා රටට කීර්තියක් ගෙනදීමටය.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා