අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ පරාජය කිරීමට ඔබගේ වටිනා ඡන්දය භාවිතා කරන්න

අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ පරාජය කිරීමට ඔබගේ වටිනා ඡන්දය භාවිතා කරන්න

- පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ

බටහිර අධිරාජ්‍යවාදීන් ශ්‍රී ලංකාවට විරුද්ධව ගෙන යන මහා කුමන්ත්‍රණය පරාජය කිරීමට ඔබට තිබෙන එකම ශක්තිය වන්නේ ඔබේ කතිරයේ බලයයි.

මෙවර පැවැත්වෙන මේ මැතිවරණය මන්ත්‍රීන් පිරිසක් තෝරා පත් කර ගන්නා සාමාන්‍ය මැතිවරණයක් නොවෙයි. ජනාධිපතිතුමා සමඟ එකට එකතු වී සිටින එකමුතුබවේ ශක්තිය ජාත්‍යන්තරයට පෙන්වන මැතිවරණයක් යැයි හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පෙරේදා (28) කටුවනදී පැවැසීය.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ශ්‍රී.ල.නි.ප. බල මණ්ඩල ක්‍රියාකාරින් දැනුවත් කිරීමේ රැස්වීම් මාලාවක් මේ දිනවල පැවැත්වෙන අතර කටුවන නගරයේ කෙසෙල් කොරටුව ප්‍රදීප් මහතාගේ සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රී කොඩිතුවක්කු පේමතිලක යන මහත්වරුන්ගේ නිවෙස්වල රැස්වීම් පැවැත්විණ. මෙහිදී තවදුරටත් කථා කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා,

‍රටේ වටිනා මිනිස් සම්පත හා සියලු දේපොළ විනාශ කරමින් අවුරුදු 30ක් පුරා මේ රටේ ගෙන ගිය කුරිරු යුද්ධ නිමාකර රට සංවර්ධනය කර ගෙන යන අවස්ථාවේදී ජනාධිපතිතුමා ආරක්ෂක ලේකම්තුමා ඇතුළු වීරෝදාර රණවිරුවන් අන්තර්ජාතික අපරාධ අධිකරණයට කෙසේ හෝ ගෙන යෑමේ ජාත්‍යන්තර කුමන්ත්‍රණය පවතිනවා. ඒ අතර එහි කොන්ත්‍රාත්කරුවෙකු ‍වන හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කර තිබෙනවා වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ මයිල් ගහක් තරම්වත් වත්මන් රාජ්‍ය නායකයා වටින්නේ නැති බව.

ජනාධිපතිතුමා සමග වෛරී දේශපාලනයට පිවිසි සරත් ෆොන්සේකා මහතා මෙවැනි දේවල් ප්‍රකාශ කරනවා.

මැතිවරණයේ නාමයෝජනා පත්‍ර භාරදීමටත් පෙර හම්බන්තොට දිස්ත්‍රික්කයේ පමණක් මැතිවරණ රැස්වීම් පනහක් පවත්වා අවසානයි. අද වන විට මුළු දිස්ත්‍රික්කයම නිල් පාටින් බැබළෙනවා. කොළ පාට කොඩියක් දකින්නවත් ලැබුණේ නැහැ.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ මැතිවරණ රැස්වීම්වල අමුතුවෙන් කියයුතු දෙයක් නැහැ. දිස්ත්‍රික්කය පුරා සිදුවෙන සංවර්ධනය ඇස් පනාපිටම පේනවා.

එදා සංවර්ධනයේ පස්සටම දමා තිබූ අපේ දිස්ත්‍රික්කය ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් අද ඉදිරියෙන්ම කඩිනමින් සංවර්ධනය වන දිස්ත්‍රික්ක බවට පත්වී තිබෙනවා. දිස්ත්‍රික්ක සංවර්ධනය වෙනවා. රැකියා උත්පාදන මාර්ග ඇතිවී තිබෙනවා.

මෙහිදී හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී වී.කේ. ඉන්දික, ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ‍රමේශ් පතිරණ, උ. පළාත් සභා හිටපු මන්ත්‍රී කපිල දිසානායක මහතා ඇතුළු පිරිසක් කථා කළ අතර බෙලිඅත්ත ප්‍රාදේශීය සභාපති ද. පළාත් සභා මන්ත්‍රී අපේක්ෂක එම්.කේ. කසුන් මහතා ඇතුළු විශාල පිරිසක්ද සහභාගී වූහ.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා