මුද්‍රණය සඳහා

 
රෝගීන්ගේ වාර්තා පරිගණකයට කැවීමේ ජාතික වැඩසටහන

රජයේ රෝහල්වලට එන

රෝගීන්ගේ වාර්තා පරිගණකයට කැවීමේ ජාතික වැඩසටහන

දඹදෙණිය රෝහලෙන්

මෙරට රජයේ රෝහල්වලට පැමිණෙන රෝගීන්ගේ සෞඛ්‍ය වාර්තා පරිගණකගත කිරීමේ ජාතික වැඩසටහන (HHIMS) දඹදෙණිය මුලික රෝහලෙන් ආරම්භ කිරීමට පියවර ගෙන ඇත.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන අතර ප්‍රතිකාර සඳහා ‍රෝහලට පැමිණෙන රෝගියකු ලියාපදිංචි කිරීමේ සිට ප්‍රතිකාර ලබා පිටත්ව යනතුරු සියලු කටයුතුවලට අදාළ තොරතුරු මෙසේ පරිගණක ගත කෙරෙයි.

රෝගියෙකු ලියාපදිංචි කිරීමෙන් අනතුරුව අංකයක් නිකුත් කෙරෙන අතර ඔහුට ලබාදෙන සියලු සේවාවන්ට අදාළ තොරතුරු එම අංකය යටතේ පරිගණක ගත කෙරෙන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසයි. ‍මෙමඟින් නැවත රෝහලට පැමිණෙන රෝගියාට ප්‍රතිකාර කිරීමේදී විශාල පහසුවක් මෙන්ම රෝගීයාට ඵලදායී සේවාවක් ලබා දීමට හැකිවන අතර විශේෂයෙන්ම රෝගියා රෝහලට පැමිණීමේ සිට ප්‍රතිකාර ලබා පිටත්ව යන කාලය මෙමඟින් අඩකින් පමණ අඩුකර ගත හැකි බවද එම නියෝජිතායතනය පෙන්වා දෙයි.

තවද වැඩි දුර ප්‍රතිකාර සඳහා රෝහලේ සිට වෙනත් රෝහලකට රෝගියා මාරු කිරීමේ දී ඔහුගේ පෙර වෛද්‍ය වාර්තා අන්තර්ජාලය ඔස්සේ ලබා ගැනීමේ පහසුකම ද මෙමඟින් සැලසේ.

දඹදෙණිය මුලික රෝහලේ මෙම ජාතික වැඩසටහන ක්‍රියාත්මක කිරීම විදුලි සන්දේශ හා තොරතුරු තාක්ෂණ ඇමැති රංජිත් සියඹලපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (31) සිදුකරන බවද දැයට කිරුළ ජාතික ප්‍රදර්ශනයට සමඟාවීම එම පළාත්වල තොරතුරු සන්නිවේදන තාක්ෂණ පහසුකම් ඉහළ නැංවිම මෙහි අරමුණ බවද ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය කියා සිටී.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2014 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]