මතට තිතට නව ගැම්මක්....!

මතට තිතට නව ගැම්මක්....!

විදේශීය ආක්‍රමණිකයා සිංහලයාගේ ශරීර ශක්තියත්, ඥාන ශක්තියත් දුර්වල කිරීම සඳහා උපාය මාර්ග දෙකක් යොදා ගත්තේ ය. පළමුවන්න සිංහලයාට නොමිලේ මත්පැන් පෙවීම ය. දෙවන්න බත් වෙනුවට තිරිඟු පිටි කන්නට හුරුකරවීම ය. මත්පැන් පානය කළ සිංහලයාට ඇත්ත-නැත්ත වැටහුණේ නැත. ඔහු පිස්සකු සේ හැසිරෙන්නට පටන් ගත්තේ ය. මෙය කෙතරම් තදබල ලෙස ව්‍යාප්ත වූයේ ද යත්; කන්ද උඩරට රජු ද මත්පැන් පානය කොට පිස්සු කෙළින්නට පටන් ගත්තේ ය. බත් වෙනුවට තිරිඟු පිටි ගිලින්නට හුරු වූ සිංහලයා අදත් රෝගියකු ලෙස කල් යවයි.

ඉංග්‍රීසිකාරයාගේ කපටිකම් හඳුනාගත් ඇතැම් සිංහල ප්‍රභූහු නිදහස් සටන සමඟ තවත් සටනක් ඉදිරියට ගෙන ගිය හ. ඒ අමද්‍යප ව්‍යාපාරය යි. මේ ව්‍යාපාරය මුළුමනින් ම සාර්ථක වූයේ නම්; 1948 ට පෙර ශ්‍රී ලංකාවට නිදහස ලැබෙනු ඇතැ’යි සිතිය හැකි ය. එහෙත් සුරාවට අපේ මිනිසුන් ළඟ තිබූ ගිජුකම නිසා නිදහස පමණක් නො ව; තවත් බොහෝ දේ අපෙන් දුරස් විය. ඉංග්‍රීසිකාරයා හැමවිටම උපායශීලී විය. සිංහලයා බොහෝ විට අනුන් විශ්වාස කරමින් සතුරාට පවා රැවටුණේ ය. එහි අහිතකර ප්‍රතිඵල අදත් අපට බලපායි.

අතීත සිංහල පුරුෂයන් කලාතුරෙකින් තෙලිජ්ජ ටිකක් පානය කළ බව සැබෑවකි. තෙලිජ්ජ යනු ඖෂධයකි. තව අතෙකින් ශක්තිජනක පානයෙකි. එය භාවිත කළේ කෑම රුචිය වැඩීමට, පණුගාය නැසීමට හා ආම වාත පුච්චා දැමීමට ය. තෙලිජ්ජ පානය කළ තැනැත්තා ද පන්සල් ගියේ නැත. ප්‍රභූන් බැහැ දුටුවේ නැත. තෙලිජ්ජ සකසා ගත්තේ ද ඉතා විශ්වාසවන්ත ලෙස ය. සුද්දා නගරයක් නගරයක් පාසා තැබෑරුම් ඉදිකිරීම නිසා ද, පළමුව ඒවා තොටුපොළවල් ළඟ සිට නොමිලේ ලබා දුන් නිසා ද සිංහලයා තෙලිජ්ජ පොල්කටුවෙන් අරක්කු වීදුරුවට මාරුවිය. ඔහු බේබද්දකු වූයේ එතැන් සිට ය.

අද වනවිට ශ්‍රී ලංකාවේ බේබද්දන් අහුරකි. නගරවල තැබෑරුම් ද, විවිධ මාදිලියේ රෙස්ටුරන්ට් ද තිබේ. කිරිපිටි මිල ගැන ආණ්ඩුවට දොස් නඟන බේබද්දෝ තැබෑරුමේ දී අත දිගහැර මත්පැන් බොති. යහළු මිත්‍රාදීනට ද ඉන් ම සංග්‍රහ කරති. සල්ලි නැතොත්; ණයට හෝ බොති. තාත්තලා එසේ පානය කරන විට පුතාලා කුඩු උරති. මෝදක ගහති. කිසිවක් ම කරගත නො හැකි අය සුර්වීම සඳහා බාබුල් ටිකක් හෝ හපති. බලාගෙන යනවිට නූතන ශ්‍රී ලංකාවට ඇති ප්‍රධාන ජාතික ප්‍රශ්නය වන්නේ මහජනයා මතින් බේරා ගැනීම ය.

මේ ජාතික ව්‍යසනයට එරෙහි ව ක්‍රියාත්මක වන ශක්තිමත් වැඩපිළිවෙළක් අද ආරම්භ වෙයි. එය ඓතිහාසික අවස්ථාවක් ලෙස සැලැකිය හැකි ය. මෑත කාලයේ දී මතට-තිත තැබීම සඳහා වැඩියෙන් ම උනන්දු වූ දේශපාලකයා වන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ය. ඔහු තමාගේ දැක්මට මතට - තිත වැඩසටහන එකතු කළේ බලයට පත් වන්නට පෙර සිට ය. එය 2005 සිට ක්‍රියාත්මක වූ අතර අද පාසල් මට්ටමින් ක්‍රියාත්මක වන මත්-විරෝධී වැඩසටහන ද එහි ප්‍රතිඵලයෙකි. 2014 වර්ෂය හඳුන්වා ඇත්තේ ද මත්-විරෝධී වසරක් ලෙස ය.

මත්පැන් පානය, මත්ද්‍රව්‍ය භාවිතය හා දුම්පානය අවබෝධයෙන් තුරන් කළ යුතු දුෂ්චරිතයකි. බටහිර රටවල් මත්පැන් භාවිතය සිය සංස්කෘතියේ අංගයක් ලෙස සලකා කටයුතු කරති. ඉස්ලාම් රටවල් මත්පැන් පානය නීතියෙන් තහනම් කර ඇතත්; කුඩු ගහන්නෝ ඒ රටවලත් සිටිති. අරාබි රටවල දී බෙල්ල කපා දැමීමට යටත්වීමට සිදුවූවත්; ශ්‍රී ලංකාවෙන් ඒ රටවලට යන සමහරු කසිප්පු පෙරාගෙන හොර ‍රහසේ බොති. බෙල්ල ගහල ගියත් බොන්නට උපන් ජාතියක් අප අතර සිටිති. ආසියාවේ ආශ්චර්ය කරා යා හැක්කේ මේ මෝඩ චූන් නැති කිරීමෙන් ය.

සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පොළොන්නරුවෙන් ආරම්භ වන මත්ද්‍රව්‍ය වි‍රෝධී පාසල් වැඩසටහන දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීම සඳහා මේ රටේ සියලුදෙනාගේ ආශිර්වාදය හා සහයෝගය ලැබිය යුතු ය. මේ වැඩසටහනෙහි අතිශය වැදගත්කම වන්නේ එය දරුවන් මූලික කොට ක්‍රියාත්මක වන බැවින් ය. ශ්‍රී ලංක‍ාවේ මුළු ජනගහනය කෝටි දෙකකට ටිකක් වැඩි වන අතර පාසල් දරුවෝ ලක්ෂ හතළිස් ගණනක් වෙති. එම දරු පිරිස මත් රකුසාගෙන් මුදාගත හැකි නම්; එය විශාල ප්‍රතිලාභයක් වනු ඇත. අනාගතය බලාගෙන කරන යහපත් ආයෝජනයක් ද වනු ඇත.

මෑතදී පළවූ ජනමාධ්‍ය වාර්තාවලින් පෙනී යන්නේ පාසල් දරුවන් විශාල වශයෙන් මත් රකුසාට බිලිවී ඇති බව ය. මෝදකයේ සිට සින්තටික් පැණිය දක්වා මත්ද්‍රව්‍ය ඔවුන් අතර ප්‍රචලිත වී තිබේ. මතට යමක් නැති කල සෙමට දෙන බෙහෙත් වර්ගයක් වැඩිපුර පානය කොට මත්වීමට වැඩිහිටි සිසුහු පුරුදුවී උන්හ. සිදුවෙමින් පවතින විනාශය ඉන් කදිමෙට පැහැදිලි වේ. දරුවන් මත් උවදුරෙන් ගලවා ගැනීම යනු මතට තිත වැඩසටහනට ලැබෙන සාර්ථක පදනමකි. මේ වැඩසටහනට වැඩියෙන්ම සහාය ලබා දිය යුත්තේ මාපියන් ය. ඊළඟට ගුරුවරුන් ය. මෙහි තවත් පැත්තක් ආදිශිෂ්‍ය සංගම්වලට නියෝජනය කළ හැකි ය.

කාන්තාවන් පෙරමුණ ගන්නේ නම්; මත් උවදුර සැලැකිය යුතු ප්‍රමාණයකින් අඩු කළ හැකි ය. මෙහිදී නිවසක ගෘහණිය නැතහොත් මව වඩාත් බුද්ධිමත් විය යුතු ය. මතට එරෙහි වීම යනු මත් ලෝලියාට බැණ වැදීම හෝ ඔහුට දඬුවම් දීම නො වේ. විශේෂයෙන් මත්ලෝලියා කපාහැර ඔහු හුදෙකලා කිරීම අතිශයින්ම භයානක ය. මත් ලෝලියකු හුදෙකලා කළහොත් ඔහු දිවි නසා ගැනීමට පුළුවන. නැතහොත් තව-තවත් මතට ඇබ්බැහිවීමටත් පුළුවන. සිදුවිය යුත්තේ මත්ලෝලියා ආදරයෙන් රැකබලා ගැනීම ය. ඔහු නැවත යහපත් පුරවැසියකු ලෙස සමාජ ගත කිරීම ය.

අප මුලින් ද සඳහන් කළ පරිදි රටෙන් මත් රකුසා තුරන් කිරීම සඳහා විශේෂ කැපවීමක් රාජ්‍ය නායකයා සිදුකරයි. මෑතකදී ඒ සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවක දී ජනාධිපතිවරයා කියා සිටියේ පුනරුත්ථාපන වැඩසටහන් දියුණු කළ යුතු බව ය. එය සත්‍යයෙකි. නීතියෙන් හා දඬුවම්වලින් පමණක් මත් රකුසා මෙල්ල කළ නො හැකි ය.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා