උගත් පාඩම් වාර්තාව රටේ ව්‍යවස්ථාව නෙවෙයි

උගත් පාඩම් වාර්තාව රටේ ව්‍යවස්ථාව නෙවෙයි

කෙහෙළිය රඹුක්වැල්ල - ජනමාධ්‍ය ඇමැති

එළැඹෙන මාර්තුවේ දී රට හමුවේ ඇති වැදගත් සිදුවීම් දෙකකි. දකුණු හා බස්නාහිර පළාත් සභා මැතිවරණය ඉන් එකකි. ප්‍රධාන ම අභියෝගය වනුයේ ජිනීවාහි පැවත්වෙන මානව හිමිකම් සමුළුවේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලය අපට විරුද්ධව ගෙන ඒමට නියමිත යෝජනාව ජය ගැනීම ය. ඒ සඳහා ආණ්ඩුවේ සූදානම කෙබඳු ද? ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඒ පිළිබඳ අදහස් දැක්වූ අයුරුයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාවට විරුද්ධව ජිනීවාහි දී සම්මත කර ගැනීමට යන යෝජනාව පරාජය කිරීමට ආණ්ඩුව ගෙන ඇති පියවර මොනවාද?

ජිනීවා යෝජනාව ගැන නම් මට ඇත්තේ දරුණු කලකිරීමක් හා කනගාටුවක්. ශ්‍රී ලංකාව අසාර්ථක රාජ්‍යයක් ලෙස නම් කළා. තම වැසියන්ට සංචාරය නොකරන ලෙස ඇතැම් රාජ්‍යයන් නියෝග කළා. සිය දහස් ගණන් පුරවැසියන් රට අතැර ගියා. එල්.ටී.ටී.ඊ.ය තැන ‍ නොතැන නොබලමින් දහස් ගණන් වැසියන් වගේ ම දේශපාලන නායකයන් ඝාතනය කළා. ආර්ථික මර්මස්ථාන විනාශ කළා.

කියා නිම කළ නොහැකි තරම් අපරාධ රාශියක් වෙමින් පැවතුණා. මේ තත්ත්වය නැති කිරීමට සේනාධිනායකයා ලෙස ජනපතිතුමාත් රණවිරුවොත් කටයුතු කළා.

මාවිල්ආරු සිට නන්දිකඩාල් දක්වා සියල්ල අවසාන‍යක් කරා ගෙන ගියේ මේ රටේ හිමිකරුවන්ට නිදහස් නිවහල් රටක් දිනා දීම පිණිසයි.

එවැන්නක් කළාට පසුවත් සුළුතරයකගේ වුවමනාවක් ඉටුකරදීම වෙනුවෙන්, අන්තර්ජාතික ප්‍රජාවේ මේ පාපිෂ්ථ හැසිරීම කුමක් ද කියන්න නම් මට තේරුමක් නෑ.

කලකිරීම, කනගාටුව මැදින් වුවත් අප මේ අභියෝගය ජයගත යුතු යි. අමෙරිකාව, බ්‍රිතාන්‍ය වගේ ම අපට විරුද්ධව කටයුතු කරන රටවල් දිනා ගැනීමට මෙන් ම අපට මිත්‍ර රටවල පක්ෂපාතී බව තහවුරු කර ගැනීමට ආණ්ඩුව ගෙන ඇති පියවර කුමක් ද?

සැබැවින් ම වසර තිහක යුද්ධයක්, පසුව ඒ යුද්ධය අවසාන කළ ආකාරයත් ගැන පමණ ඉක්මවා ලෝකය දැනුවත් කරන්න ආණ්ඩුව කටයුතු කළා. විදේශ කටයුතු අමාත්‍යාංශය, තානාපති සේවය හා ජනාධිපති ලේකම් කාර්යාලය යනාදි විවිධ අංශ මඟින් යුද්ධයේ යථාර්ථවාදය මැනවින් පැහැදිලි කර දී තිබෙනවා. එහෙත් හංසයාගේ පිටට වතුර දමන්නාක් මෙන් මොන තරම් පැහැදිලි ක‍ළත් ඔවුන් හැසිරෙන්නෙ කිසිවක් නොතේරෙන ආකාරයටයි.

සුළුතරයකගේ න්‍යාය පත්‍රයක් ක්‍රියාවට නැඟීම සඳහා කෘත්‍රිම තත්ත්වයක් ඔවුන් නිර්මාණය කරනවා. මේ කෘත්‍රිම තත්ත්වයට මුහණ දීම අභියෝගයක් තමයි. එහෙත් හොඳ ආත්මශක්තියකින් යුතුව අප මේ යෝජනාවට මුහුණ දෙනවා.

අන්තර්ජාතික ප්‍රජාවේ විශ්වාසය තහවුරු වෙන ආකාරයේ වැඩපිළිවෙළක් ක්‍රියාවට නැඟීමට අපට බැරි වුණේ ඇයි ?

යථාර්ථය පසෙකින් තබා ඔවුන් න්‍යාය පත්‍රය සකස් කරන්නේ කෘත්‍රිම තත්ත්වයකට නම්, අප ඉදිරිපත් කළ යුත්තේ කිනම් වැඩපිළිවෙළක් ද යන ප්‍රශ්නය මතුවෙනවා.

යුද්ධය කියන්නේ කිසිවිටෙක කිසිම පාර්ශ්වයකින් මිහිරි දෙයක් නොවේ. යුද්ධයක් සීයට සීයකින් මානුෂිකව අවසන් කර තිබෙන්නේ කුමන රාජ්‍යයක් ද? අමෙරිකාව හෝ බ්‍රිතාන්‍යයටවත් එය කළ හැකි දෙයක් ද? මේ යථාර්ථය තේරුම් ගන්න ඔවුන්ට නොහැකියි කීම පුදුමයක්.

මේ අන්තර්ජාතික ප්‍රජාව දැන් දඬුවම් දෙන්න උත්සාහ කරන්නෙ අපිටයි. ඔවුන් පවසනවා එල්.ටී.ටී.ඊ. යටත් දඬුවම් දෙන බව. එල්.ටී.ටී.ඊ.යෙ කාටද දැන් දඬුවම් දෙන්නෙ? එහෙම නම් ඔවුන් එසේ කළ යුත්තේ එල්.ටී.ටී.ඊ.ය වෙනුවෙන් පෙනී හිඳින කොට්ඨාසය වෙනුවෙනුයි.

අන්තර්ජාතික පරීක්ෂණයක් අවශ්‍ය බවට උතුරු පළාත් සභාව පනතක් පවා සම්මත කරගෙන. ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශ නියෝජිතයන්ට ආණ්ඩු විරෝධී පැමිණිලිත් උතුරෙන් ලැබෙනවා. මෙවැනි තත්ත්වයක් යටතේ මුලින් ම කළ යුත්තේ උතුරේ විශ්වාසය තහවුරු කර ගැනීමයි. එහෙත් යුද්ධය අවසන් වී වසර කීපයක් ගත වුවත් එවැන්නක් සිදු වී නැහැ. ඊට හේතුව කුමක්ද?

ඒක බොහොම වැදගත් ප්‍රශ්නයක්. වසර තිහක් තිස්සේ එල්.ටී.ටී.ඊ. ය උතුරේ ජනතා මානසිකත්වය ගොඩනඟා තිබුණේ මරාගෙන මැරෙන ත්‍රස්තවාදී ක්‍රියාකලාපයකටයි. එවැනි බිහිසුණු තත්ත්වයකට ජනතාවගේ මොළ සේදූ ප්‍රභාකරන් ඔහුගේ පලිහ වශයෙන් තබා ගත්තේ ද සිවිල් ජනතාවයි. ඔහුගේ යකඩ සපත්තුවට ඔවුන් පෑගී සිටියා. මෙවැනි ජන කොටසකගේ මානසිකත්වය එක රැයින් යළි සකස් කිරීමට බැහැ.

ඔවුන් අන්තර්ජාතික පරීක්ෂණ ඉල්ලා සිටින්නේ යුද්ධයෙන් මුදාගත් බිමක, ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක කොටස්කරුවන් ලෙසයි. එතැනම ඔවුන් අත්විඳින්නේ මේ රටේ මානව හිමිකම් නොවේද?

එතැනින් නොනැවතී අපි ඔවුන්ට උපරිම ලෙස යටිතළ පහසුකම් සලසා තිබෙනවා. එල්.ටී.ටී.ඊ. විනාශ කළ යටිතල පහසුකම්, අධ්‍යාපනය, සෞඛ්‍ය, කෘෂිකර්මය ස්වයං රැකියා යනාදී සියල්ල නැවත ඔවුන්ට ලබා දෙමින් සිටින්නේ ශ්‍රී ලංකා ආණ්ඩුවයි.

යුද්ධයෙන් අවතැන් වූ පිරිසෙන් සීයට අනූ නවයක් අපි යළි පදිංචි කර තිබෙනවා. ඔවුන්ගේ ඉඩම්වලින් කොටසක් තම හමුදා පාලනය යටතේ තිබෙනවා තමයි. මේ හැමදේම එකවර මුදා හරින්න බෑ. ඒවා ක්‍රමයෙන් නිදහස් කළ යුතුයි.

අනෙක් පැත්තෙන් හමුදා කඳවුරු ඉවත් කරන්නැයි කියන ඉල්ලීම. උතුරේ කඳවුරු ඉවත් කරනවා නම් ඉතිං කොළඹ තියෙන සියලුම හමුදා කඳවුරුත් ඉවත් කරන්න එපෑයි. එතකොට ජාතික ආරක්ෂාව ගැන වගකියන්නේ කවුද?

හොඳයි. ජිනීවා අභියෝගය දිනීමට එක් ප්‍රධාන පිළියමක් ලෙස උගත්පාඩම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙසටයි දේශපාලන විද්වතුන් පවසා සිටින්නේ ?

මේ වාර්තාවේ ක්‍රියාත්මක කළ කොටස් ගැන කවුරුත් කතා නොකරන්නේ ඇයි? කෙටි කාලීන යෝජනාවලින් සීයට 90 ක් කර හමාරයි. මද්‍යකාලීන යෝජනාවලින් සීයට 50ක් කර අවසන්. දීර්ඝ කාලීන ඇතැම් යෝජනාවලට ව්‍යවස්ථා සංශෝධන පවා කරන්න අවශ්‍යයයි.

අනෙක, මේ ආණ්ඩුව පත්කළ ස්වාධීන කොමිසමක යෝජනා මිසක් අන්තර්ජාතික ප්‍රජාවේ යෝජනාත් නෙවෙයි. ඒ වගේ ම මේ කොමිසමේ සිටියේ සාමාජිකයන් පස් දෙනයි. ඔවුන් කියන හැටියට ම මෙහි තිබෙන සියලු ම කරුණු ක්‍රියාත්මක කරන්න කියල නීතියක් නෑ. අනික කොහොම ද එහෙම කරන්නෙ. එහෙම නම් ඉතිං ඒ පස්දෙනා තමයි සම්පූර්ණයෙන් ම රට මෙහෙයවන පාලකයො වෙන්නෙ.

මේ වාර්තාව රටේ පාලකයන්ට මාර්ගෝපදේශයක් මිසක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් නොවේ.

ඔබ මේ කියන සියලු යථාර්ථයන් ජිනීවාහි දී ප්‍රත්‍යක්ෂ කිරීමයි වැදගත්. එතැන දී ඉන්දියාව ප්‍රධාන සාධකයක්. අන්තර්ජාලය මඟින් ලෝකයට ම වීසා ලබාදෙන වැඩපිළිවෙළේ දී ඉන්දියාව අතහැර දමා ඇති රටවල් කීපයට අපත් ඇතුළත්. මේ තත්ත්වය යටතේ ඉන්දියාව දිනා ගැනීමේ වැඩපිළිවෙළ කුමක්ද?

ඉන්දියාව කියන්නේ දේශපාලන වශයෙන් ඉතාමත් සංකීර්ණ රටක්. එහි දී තමන්ගේ ජාම බේරා ගැනීමට ඕනෑම රටක් පාවා දෙන දේශපාලන ව්‍යාපාරයකට ඔවුන් ප්‍රවිශ්ට වීමට ඉඩ තිබෙනවා. ජිනීවාහි දී එහෙම නොවේවා කියන ප්‍රාර්ථනය අපට තිබෙනවා.

කොහොම වුණත් අපේ වැඩිමහල් සහෝදරයා ලෙස අප නිරන්තරයෙන් ම ඉන්දියාව දැනුවත් කරනවා.

ජිනීවා අර්බුදය පළාත් මැතිවරණ ජයග්‍රහණයටත් රුකලක් වේවිද?

ඒක අමූලික බොරුවක්. අතීතය අමතක නැති බුද්ධිමත් ජනතාවට ජිනීවා නොපෙන්නුවාට ඡන්දය විශිෂ්ට ලෙස දිනන්න අපට පුළුවන්. යම් විදියේ ආර්ථික දුෂ්කරතා තිබුණත් ජනතාව බුද්ධිමත් ලෙස කටයුතු කරන බව මට සහතිකයි.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා