පිටකොටුවේ හොර සූදු පොළ පහක් වටලයි

පිටකොටුවේ හොර සූදු පොළ පහක් වටලයි

සැකකරුවන් 94ක් මුදල් සමඟ අත්අඩංගුවේ

පොලිසියෙන් අලුත් වැඩපි‍ළිවෙළක්

මෙහෙයුමට ආවේ සිවිල් ඇඳුමෙන්

නව පන්නයේ සූදු පොළට ඇතුළුවීමට රුපියල් 3000ක්

කොළඹ, පිටකොටුව ඕල්කොට් මාවත සහ පළමු හරස් වීදියේ පවත්වාගෙන ගිය හොර සූදු පොළ පහක් වටලා සැකකරුවන් 94 දෙනකු රුපියල් ලක්ෂ තුනක මුදල් සමඟින් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් ‍ව ඇත.

කොළඹ ප්‍රදේශයේ සූදු පොළ වැටලීමට පොලීසිය ගෙන යන වැඩපිළිවෙළහි එක් පියවරක් වශයෙන් සිදු කළ මෙම වැටලීමෙන් සූදුවෙහි නියැලී සිටි අසූදෙදෙනකු අත්අඩංගුවට පත්ව ඇති අතර ඒ අතර කාන්තාවක් ද සිටින බවත් ඉතිරි පිරිස එම ස්ථානවල කළමනාකරුවන් සහ සේවකයන් ලෙස සේවය කළ අය බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.

මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයාගෙන් ලබා ගත් සෝදිසි වරෙන්තුවක් මත පෙරේදා (8) මේ වැටලීම ‍කර ඇත්තේ සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් බවත් ඒ මහතා පොලිස් මූලස්ථානයේදී ඊයේ (9) පැවසීය.

වායුසමීකරණය කර නවීන පන්නටය ඉදි කර තිබෙන මෙම සූදු පොළකට ඇතුළු විමේ ගාස්තු වශයෙන් පමණක් රුපියල් 3000ක මුදලක් අය කර තිබෙන බවත් අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.

පිටකොටුව ඕල්කට් මාවත රෙඩ් ඩ්‍රැගන්, නිව් වික්ටෝරියා රෙජිනෝ සූදු පොළ, ෆන් 24 ක්ලබ් සහ පළමු හරස් වීදියේ ගොල්ඩන් ස්කයි ක්ලබ්, පළමු හරස් වීදියේ ත්‍රී ස්ටාර් යන සූදු පොළ මෙසේ වැටලීමට ලක් කර තිබේ.

අනවසර සූදු පොළ පවත්වාගෙන යන අයට එරෙහි දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පැවසූ ඒ මහතා පසුගිය දිනවල මහත් ආන්දෝලනයකට තුඩු දුන් කොළඹ පුරහල ප්‍රදේශයේ සූදු පොළ පිහිටි ගොඩනැගිල්ල නිතරම පොලිස් පරීක්ෂාවකට ලක් වන බවත් එම ස්ථානය පවත්වාගෙන යාමට ඉඩ දුන් තැනැත්තියට විරුද්ධව නඩු පවරා තිබෙන බවත් පැවසීය.

සූදුවෙහි නියැලීමට එන අයට පමණක් නොව එම ස්ථාන කළමනාකරණය කරන අයටත් සූදුව සඳහා තමන් සතු ඉඩම්, දෙපොළ ලබා දෙන අයටත් සූදුවට අනුබල ලබා දීම යටතේ නීතිය ක්‍රියාත්මක කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා