මුද්‍රණය සඳහා

 
කොට්ටාව-කඩුවෙල දක්වා අධිවේගය ලබන මස ජනතා අයිතියට

කොළඹ පිටත වටරවුම මාර්ගයේ

කොට්ටාව-කඩුවෙල දක්වා අධිවේගය ලබන මස ජනතා අයිතියට

ශ්‍රී ලංකාවේ ජාතික මාර්ග පද්ධතියේ විප්ලවීය සංවර්ධන යුගය සනිටුහන් කරමින් කොළඹ පිටට වටරවුම් මාවතේ ‍ කොටසක් ලෙස කොට්ටාවේ සිට කඩුවෙල දක්වා වූ ඉදිකැරෙන අධිවේගී මාර්ගය ලබන මාර්තුවේ විවෘත කිරීමට නියමිතය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම් මත ක්‍රියාවට නංවන මේ මාර්ග සංවර්ධන වැඩසටහන් යටතේ මෙරට ඉදිකළ තුන්වැනි අධිවේගී මාර්ගය ලෙස මෙය ඉතිහාසයට එක්වන බව ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කෙළේය.

ආර්ථික සංවර්ධන ඇමැතිවරයා මේ බව කියා සිටියේ ඉකුත්දා (08) එම මාර්ගයේ ඉදිකිරීම් පිළිබඳව කරුණු සොයාබැලීමට ගිය නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුවය.

දිගින් කිලෝමීටර් 11කින් යුතු මේ මාර්ගය ප්‍රධාන නව ජාතික මාර්ග ඉදිකිරීම නිසා අධික රථවාහන තදබදය අවමවීම, සහ නාගරික ජනගහනය පවතින ප්‍රදේශවල ශීඝ්‍ර සංවර්නයකට මුල පිරීම සිදුවන බවද ඇමැතිවරයා කීය. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මග පෙන්වීම යටතේ මහාමාර්ග අමාත්‍යංශය මඟින් දේශීය ඉංජිනේරුවන් ගේ මෙහෙයවීමෙන් ඉදිකිරීම් කටයුතු කරගෙන යන මෙම අධිවේගී මාර්ගයේ කොට්ටාව සහ කඩුවෙලට අමතරව අතුරුගිරියේ පිවිසුම් මාර්ගයක්ද ඇති අතර පැයට කිලෝමීටර් 100ක ධාවන වේගයකින් ගමන් කළ හැකිය. කොට්ටාවේ සිට කඩුවෙල දක්වා වැය වන කාලය විනාඩි 8කි.

අධිවේගී මාර්ගයේ නිරීක්ෂණ චාරිකාවේ නිරතවීමෙන් අනතුරුව ඇමැති බැසිල් රජපක්‍ෂ මහතා කියා සිටියේ කොට්‍ටාව කඩුවෙල අධිවේගී මාර්ගය ලංකාවේ තෙවන අධිවේගී මාර්ගය වන අතර මෙම වසරේ මැද භාගය වන විට කඩුවෙල සිට කටුනායක දක්වාද ගාල්ලේ සිට මාතර දක්වාද අධිවේගී මාර්ග නිමකර යා කළ පසු කටුනායක සිට මාතර දක්වාම එක් මාර්ගයක් බවට පත්වන බවය. එම අධිවේගි මාර්ගය ගම්පහ, කොළඹ, කළුතර, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්ක හරහා ගමන් කරයි.

දක්ෂිණ අධිවේගී මාර්ගය සහ කොළඹ කටුනායක අධිවේගී මාර්ගය සම්බන්ධ කරමින් ඉදිවන කොළඹ පිටත වටරවුම් මාර්ගයේ ඉදිරි අදියර දෙක වන්නේ කඩුවෙල සිට කඩවත සහ කඩවත සිට කෙරවලපිටිය වේ. කඩුවෙල සිට කඩවත දක්වා කිලෝමීටර් 8.9කින් යුත් කොටස මෙම වසරේද, කඩවත සිට කෙරවලපිටිය දක්වා කිලෝමීටර් 9.3කින් යුත් කොටස ලබන වසරේද නිමවනු ඇත.

ශ්‍රී ලංකාවේ ඉදිවන දිගම පාලම මෙන්ම ගුවන් පාලම වන කිලෝමීටර් 3.3ක දිගින් යුත් මහවැව පාලම ඉදිවී ඇත්තේද කොට්ටාව කඩුවෙල මාර්ගය ඉදිකර ඇත. මෙම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් අතර ප්‍රධාන වන්නේ වාහන තදබදය අවම කිරීම සහ බස්නාහිර පළාතේ අධික ජනගහනයෙන් යුත් නාගරික ප්‍රදේශ සංවර්ධනය සඳහා දිරි ගැන්වීමය. දිනකට කොළඹ නගරයට දිනකට ඇදී එන වාහන සංඛ්‍යාව ලක්ෂ 20ක් පමණ වන අතර ඉන් බොහොමයක් කොළඹ නගරය හරහා ගමන් කරන්නේ විකල්ප මාර්ග නොමැති බැවිනි.

වාහන තදබදය මඟ හරිමින් රජය මගින් කොට්ටාවේ සිට ගාල්ල දක්වා ඉදිකරන ලද දක්ෂිණ අධිවේගී මාර්ගයද පෑලියගොඩ සිට කටුනායක දක්වා ඉදිකරන ලද කොළඹ කටුනායක අධිවේගී මාර්ගයද මෙයට පෙර විවෘත කළේය. මෙම අධිවේගී මාර්ගයන්හි නියම ප්‍රතිඵල ලබාගැනීම සඳහා උතුරු අධිවේගී මාර්ගය ඇර‍ඹීමේ මූලික කටයුතුද රජය මේවන විට ආරම්භ කර ඇත. උතුරු අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී පළමු අදියර ලෙස එ‍ඬේරමුල්ලේ සිට අඹේපුස්ස දක්වාත් දෙවන අදියර ලෙස මීරිගම සිට පැල්ලන්දෙණිය දක්වාත් තෙවන අදියර ලෙස අඹේපුස්ස සිට මහනුවර දක්වාත් යන මාර්ග අදියර තුනක් යටතේ ඉදිකිරීමට සැලසුම්කර තිබේ.

මෙම නිරීක්ෂණ චාරිකාවට පරිසර සහ පුනර්ජනීය බලශක්ති ඇමැති සුසිල් ප්‍රේම් ජයන්ත, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන ලසන්ත අලගියවන්න සහ ඩුලිප් විජේසේකර කඩුවෙල නගරාධිපති ‍ජී.එච් බුද්ධදාස, මහරගම නගරාධිපතිනි කාන්ති කොඩිකාර, මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් රංජිත් පේ‍්‍රමසිරි යන මහත්ම මහත්මීන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක්ම සහභාගී වූහ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2014 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]