දකුණේ පාලම් හතක් ඇතුළු නව පාලම් 37ක් ඉදිකිරීම් ළඟදී ඇරඹෙනවා

රුපියල් කෝටි  1566 ක වියදමින්

දකුණේ පාලම් හතක් ඇතුළු නව පාලම් 37ක් ඉදිකිරීම් ළඟදී ඇරඹෙනවා

ඇමැති නිර්මල කොතලාවල

දකුණු පළාතේ මාතර - ගාල්ල යන දිස්ත්‍රික්ක ඇතුළුව දිවයිනේ දිස්ත්‍රික්ක දොළහක (12) නව පාලම් තිස් හතක ඉදිකිරීමේ කටයුතු ළඟදීම ආරම්භ කෙරෙන බව මහා මාර්ග වරාය හා නාවික ව්‍යාපෘති ඇමැති නිර්මල කොතලාවල මහතා කියයි.

ඉදිකිරීම් කටයුතු ජපාන රජයේ මූල්‍යාධාර යටතේ සිදු කෙරෙන අතර මේ වෙනුවෙන් වැය කෙරෙන මුදල රුපියල් කෝටි එක්දහස් පන්සිය හැට හයක් පමණ වේ.

ගාල්ල - මාතර - මොණරාගල - රත්නපුර - කළුතර - කොළඹ - කෑගල්ල - කුරුණෑගල - පුත්තලම - මන්නාරම - කිලිනොච්චිය සහ යාපනය යන දිස්ත්‍රික්ක තුළ මෙම නව පාලම් ව්‍යාපෘති ක්‍රියාත්මක වෙයි.

මේ යටතේ දකුණේ කතළුව , පොල්වත්ත , පොල්අතු මෝදර , හල්පාතොට , දෙනගම , දෙනිපිටිය , ගොයියාපාන , යන පාලම් සමඟ පාලම් 37 ක් ඉදිවෙයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මහා මාර්ග වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශය සමඟ මාර්ග සංවර්ධන අධිකාරියේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම පාලම් නිර්මාණ කටයුතු සිදු කෙරෙයි.

මීට අමතරව කුවේට් , සෞදි , ප්‍රංශ , බ්‍රිතාන්‍ය , කොරියාව යන රාජ්‍යවලින් ලැබෙන ආධාර යටතේද පාලම් ඉදිකිරීම් කටයුතු සිදු කෙරෙන බව ව්‍යාපෘති ඇමැති නිර්මල කොතලාවල මහතා වැඩි දුරටත් පෙන්වා දෙයි.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා