පොළොන්නරුව සංවර්ධනයට රුපියල් මිලියන 18000ක්

පොළොන්නරුව සංවර්ධනයට රුපියල් මිලියන 18000ක්

‍පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සංවර්ධනය සඳහා ජනාධිපතිතුමා රුපියල් මිලියන දහ අට දහසකට වැඩි මුදලක් ලබාදී තිබෙනවා යැයි ඉඩම් හා ඉඩම් සංවර්ධන නියෝජ්‍ය ඇමැති සිරිපාල ගම්ලත් මහතා පැවැසීය.

මැදිරිගිරිය රෝහල නිරීක්ෂණ චාරිකාවක් ඉකුත්දා (06) උතුරු මැද පළාත් සෞඛ්‍ය ඇමැති එච්. බී. සේමසිංහ මහතා විසින් සංවිධානය කර තිබුනි. එම අවස්ථාවට සහභාගී වූ සිරිපාල ගම්ලත් නියෝජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේ පැවැසීය.

ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ආර්ථික කටයුතු සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා විසින් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු සඳහා රුපියල් මිලියන දාහත් දහසක්ද විමධ්‍යගත අරමුදල් යටතේ රුපියල් මිලියන 1500ක්ද වෙනමම රුපියල් මිලියන හාරසිය විසි එකක්ද ලබාදී තිබෙනවා.

පාසල් සංවර්ධනය, දිවි නැඟුම වැනි ව්‍යාපෘති සඳහා මීට අමතරව මුදල් වෙන් කර දී තිබෙනවා. උතුරුමැද පළාත් සෞඛ්‍ය ඇමැති එච්. බී. සේමසිංහ මහතා මැදිරිගිරිය රෝහල් සංවර්ධනය සඳහා රුපියල් මිලියන පහක් මගෙන් ඉල්ලා සිටියා. ඊට අමතරව රෝහල් වෛද්‍යවරුන්ගේ නේවාසිකාගාර ඉදිකර දෙන ලෙසද ඉල්ලා සිටියා. මම ඒ මුදල ලබාදෙන අතර නේවාසිකාගාර සෑදීමේ වැඩකටයුතු ලබන විසි වැනිදා සිට ආරම්භ කරනවා. රෝහලේ වෛද්‍ය අධිකාරිවරයා අප සැමටම ආදර්ශයක් ලබාදී රෝහල වැඩි දියුණු කිරීමට මහත් වෙහෙසක් දරනවා. එතුමාගේ කැපවීම අපි අගය කරන්නට ඕන. සේවාවන් පවත්වා‍ෙගන යාමට මානව සම්පත ඉතාම වටිනවා.

වෛද්‍යවරුන්ට දෙවියන් සේ අප සලකනවා. සේමසිංහ ඇමැතිතුමා අප ප්‍රදේශයට විශාල සේවාවක් සිදුකරනවා. රෝහල්වල අඩුපාඩු සකස් කිරීමට පැමිණෙන විට අදාළ සියලුම නිලධාරින් සහ ඉංජිනේරුවන්ද රැගෙන තමයි පැමිණෙන්නේ. එය ඉතාම වැදගත්. එවිට මෙම වැඩකටයුතු සිදුකර ගැනීමට පහසුයි. ඒ තමයි සංවර්ධනයේ නිසි ක්‍රමය. වසර තිහක යුද්ධයක් පැවැති රටක් ලෙස එම යුද්ධය අවසන් වී හතර වන වසර තුළ ශීඝ්‍ර සංවර්ධනයක් රට තුළ ඇති කර තිබෙනවා.

ලංකාවේ සෑම ආයතනයකම මාර්ග කිලෝමීටර් තිහක් කාපට් කිරීම සඳහා ආර්ථික කටයුතු සංවර්ධන අමාත්‍යාංශය මඟින් මුදල් ලබාදීමට තීරණය කර තිබෙනවා. උතුරුමැද පළාත් සෞඛ්‍ය අමාත්‍ය එච්. බී. සේමසිංහ මහතා එහිදී මෙසේ කීහ.

සෞඛ්‍ය ක්ෂේත්‍රය නංවාලීමට රජය සෑමවිටම වැඩි සැලකිල්ලක් දක්වනවා. සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා රට තුළ නිරෝගී පරපුරක් බිහි කිරීමට ගන්නා උත්සාහය අපි අගය කරන්නට ඕන. ජනාධිපතිතුමා තරම් ජනතාවට ප්‍රතිලාභ ලබා දෙන තවත් රාජ්‍ය නායකයෙක් ලෝකයේම නැහැ. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතාවට පානීය ජලය ලබාදීම සඳහා රුපියල් මිලියන තුන්සිය පනහක් වෙන් කර තිබෙනවා. මැදිරිගිරිය රෝහල් පල්දෝරු පද්ධතියන් සඳහා පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය මුදල් වෙන් කර දී තිබෙනවා.

ඡායාරූප - චිත්‍රාරත්න කලුආරච්චි

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා