විධිමත් ජනාවාස ක්‍රමයක් තුළින් මත්ද්‍රව්‍ය ජාවාරමට තිත තිබිය හැකියි

විධිමත් ජනාවාස ක්‍රමයක් තුළින් මත්ද්‍රව්‍ය ජාවාරමට තිත තිබිය හැකියි

- ඇමැති විමල් වීරවංශ

විමල් වීරවංශ ඇමැතිවරයා නිවාස සංකීර්ණය විවෘත කළ අයුරු.

මත්ද්‍රව්‍ය ජාවාරමට ඉහළ මට්ටමෙන් සම්බන්ධවී අත්අඩංගුවට ගෙන වැරදිකරු වී අධිකරණයෙන් මරණ දණ්ඩනය නියම වී සිටින පුද්ගලයින්ට එරෙහිව මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින බව ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් ඇමැති විමල් වීරවංශ මහතා පවසයි. ඇමැතිවරයා මෙම අදහස් පළ කළේ රුපියල් ලක්ෂ 130ක වියදමින් මුළුමනින්ම ප්‍රතිසංස්කරණය කරන ලද කොළඹ 02, කොම්පඤ්ඤවීදියේ, විතානගේ මාවත මහල් නිවාස ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම වෙනුවෙන් පසුගියදා (08) දින පැවති උත්සවයට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ ඇමැතිවරයා “දැන් විවිධ පාර්ශ්ව රටේ කුඩු වැඩිවෙලා කියලා චෝදනා කරනවා. පසුගිය කාලයේ මත්ද්‍රව්‍ය මර්දනයට විශාල වැඩපිළිවෙළක් මේ රජය ක්‍රියාත්මක කළා.

මත්ද්‍රව්‍ය ජාවාරමට ඉහළ මට්ටමෙන් සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට පත්වෙලා ඉන්නවා. සමහරුන්ට උසාවියෙන් මරණ දණ්ඩනය තීන්දු කරලා තියෙනවා. මත්ද්‍රව්‍ය ජාවාරමට අසුවෙලා එහෙම මරණ දණ්ඩනය නියමවෙලා ඉන්න පුද්ගලයන්ට එම දඬුවම් ක්‍රියාත්මක කරන්න කියලා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා. එය ක්‍රියාත්මක කළොත් සිදුවෙන වෙනස දැක බලාගන්න පුළුවන්. එහෙම ක්‍රියාත්මක කළොත් ඇතැම් විදේශ රටවල් කියයි අන්න මරණ දණ්ඩනය ක්‍රියාත්මක වෙනවා, මානව හිමිකම් උල්ලංඝනය වෙනවා කියලා. මරණ දණ්ඩනය ක්‍රියාත්මක කරලා මේ ජාවාරම මැඬපවත්වන්න බැරි නම් වෙන කොහොම ද මේවා මර්දනය කරන්නේ?.

වෙන ලොකු ‍ෙලාකු අයගේ ප්‍රශ්නවලට සිරදඬුවම් නියම වුණාම කුඩු පානය කරන අය ඒ අය වෙනුවෙන් කැමැත්තෙන් හිරේ යනවා. සිරගෙයි ඇතුළට රහසේ බෝලවලින් කුඩු එනවා. ඒ කුඩු පානය කර කර සිරගෙදරට වෙලා ඉන්නවා. එළියේ හිටියත් කුඩු පානය කරන නිසා සිරගෙදර ඉඳලා කුඩු පානය කරන එක හොඳයි කියලා හිතනවා. එසේ හිරේ යැවීමට කටයුතු කළ පුද්ගලයා සල්ලි වියදම් කරලා සිරගතවුණු පුද්ගලයාගේ පවුල නඩත්තු කරනවා. මේවා වෙන්නේ මේ පොතේ තියෙන මරණ දඬුවම් හරියට ක්‍රියාත්මක නොවන නිසා. මරණ දඬුවම හොඳ නැත්නම් නීති පොතෙනුත් ඉවත් කරන්න ඕන. නමුත් නීති පොතේ දඬුවම සඳහන් කරලා තියෙනවා. වෙන වෙන සිදුවීම්වලට ක්‍රියාත්මක නොකළත් රටම විනාශ කරන මත්ද්‍රව්‍ය ජාවාරමට මරණ දණ්ඩනය නියමවෙලා ඉන්න අයට අනිවාර්යයෙන්ම මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න ඕන. එහෙම කළොත් තමයි එයට සම්බන්ධ පුද්ගලයින් අධෛර්යට පත්වෙන්නේ.

මත්කුඩු ජාවාරම නැතිකිරීම සඳහා පාරිසරිකව ඇති කළයුතු වෙනස පිළිබඳව ඇමැතිවරයා මෙහිදී අදහස් දැක්වීය. ඒ වගේම අනිත් පැත්තෙන් පාරිසරික වෙනස ඇතිකළ යුතුයි. දඬුවම්වලින් පමණක් මේ වෙනස කරන්න බැහැ. පරිසරයෙනුත් මේ වෙනස කරන්න ඕනේ. මහල් නිවාස නවීකරණය කරන්න ඕනේ. තිරස් අතට විහිදුණු අවිධිමත් ජනාවාස නවීකරණය කරලා විධිමත් ලෙස ගොඩනැඟිය යුතුයි. එය අද අපි සිදුකරමින් සිටිනවා. මේ දෙක තුනම එකට සිදුවන සමාජ පරිවර්තනයකින් පමණයි මේ අභියෝගය ජයගත හැක්කේ.” යනුවෙන්ද ඇමැතිවරයා පැවසීය.

මීට අමතරව ඉදිරි පළාත් සභා මැතිවරණය ඉලක්ක කරගෙන කොළඹ අඩු පහසුකම් ජනාවාසවල ජනතාව ආණ්ඩුවේ සංවර්ධන කටයුතුවලට එරෙහිව පෙළගැස්වීම සඳහා මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවන් පිරිසක් විපක්ෂයට මුදල් දෙමින් විපක්ෂයේ මන්ත්‍රීවරු හරහා එම ජනතාව පෙලඹවීමට කටයුතු කිරීමේ වැඩසටහනක් දියත්වෙමින් පවතින බවද ඇමැතිවරයා මෙහිදී හෙළි කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, දෙමටගොඩ “මිහිඳු සෙන්පුර” නිවාස යෝජනා ක්‍රමයේ සිංහල, දෙමළ, මුස්ලිම් හැමෝම සතුටින් ජීවත් වෙනවා. බොහෝ දෙනෙක් අද සතුටින් ඉන්නවා. සුළු පිරිසක් පමණක් කනගාටුවෙන් ඉන්නවා. සමහරු අනවසරයෙන් තට්ටු දෙකේ ගෙවල් හදාගෙන වැඩි ඉඩක් පාවිච්චි කරපු අයට ඒ ඉඩ ප්‍රමාණයම මේ ස්ථානයේ ලැබිලා නැහැ. එවැනි විවිධ ප්‍රශ්න මත සුළු පිරිසකගේ දුක්ගැනවිලි ඉතුරු වෙලා තියෙනවා. නමුත් අද ඇතැම් මාධ්‍ය කතාකරන්නේ ඒ සුළු පිරිසට ඇතිවෙලා තියෙන දුක ගැන විතරයි. ‍ මම දැක්කා සති අන්ත පුවත්පතක සම්පූර්ණ පිටුවක පළකරලා තියෙනවා ඒ මහල් නිවාස යෝජනා ක්‍රමය හිරකූඩුවක් කියලා. ඒ පත්තරවලට අවශ්‍ය මේ වැඩපිළිවෙළ නවත්වන්න.

ඇයි තමුන්නාන්සේලා දන්නවා කොළඹ නගරයේ තිරස් අතට විහිදුණු අවිධිමත් ජනාවාස වෙනුවට සිරස් අතට විහිදුණු විධිමත් ජනාවාස හැදුනාම කොළඹ නගරය දුරාචාරයේ, මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගේ තිත්පොළක් කරගන්න බැරිවෙනවා කියලා. තිරස් අතට පොඩි පොඩි පෙට්ටි ගහලා තියෙන කොට ඒවා අස්සේ කුඩු විතරක් නෙවෙයි ඕන දෙයක් හංගන්න පුළුවන්. ඒවායේ කුඩු ව්‍යාප්ත වෙන එක පොලිසියට නෙවෙයි සක්කරයාටවත් වළක්වන්න බැහැ. සිරස් අතට විධිමත් නිවාස ගොඩනැඟුනාම නීති විරෝධී ජාවාරම්කාර බලවේගවලට මේ ජන සමාජවලට රිංගන්න අමාරුයි. දැන් ඒ බලවේග කලබලවෙලා තියෙනවා. දැන් ඒගොල්ලෝ විරුද්ධ පක්ෂයටත් ඡන්ද කටයුතු සඳහා ගොඩාක් උදව් කරනවා කියලා මට ආරංචියි. කුඩු ජාවාරම් කරන ලොක්කෝ සල්ලි දෙනවලු විරුද්ධ පක්ෂයට, වනාතමුල්ලේ මිනිසුන්ව කුපිත කරලා මේ වැඩේ කඩාකප්පල් කරලා මිනිසුන්ව පාරට බස්සන්න. ඇයි කුඩු ජාවාරම්කාරයන්ට වැඩේ පහසු නිසා. විධිමත් මහල් නිවාස පද්ධතියකට ජනතාව එනකොට ආකල්ප, හිතන පතන ආකාරය, ජීවන රටාව වෙනස් වෙනවා.

රට ගැන හිතන විදිය වෙනස් වෙනවා. මේ අහිසංක දරු පැටව් බිලිගන්න බලාගෙන ඉන්න දුෂ්ට බලවේගවලට මේ වෙනස බලාගෙන ඉන්න බැහැ. අද ඒ බලවේග විරුද්ධ පක්ෂයේ උදවියට සල්ලි දීලා වතුවලට යවනවා විරුද්ධ මත හදන්න. සමහර පත්තරවලට සල්ලි දීලා කියනවා කොහොම හරි මෙයට විරුද්ධ මතය හදන්න කියලා. මේ මහල් නිවාසක්‍රම නවීකරණය කරන්නේ තමුන්නාන්සේලාගේ කොළඹ ජීවිතය වෙනස් කරන්න. විධිමත්භාවයක්, පිළිවෙළක් අරගෙන එන්න. අපිළිවෙළට තියෙන නිවාස යෝජනා ක්‍රමවල ජීවත්වන මිනිසුන්ගේ ජීවිතවල පිළිවෙළක් ඇතිවෙන්න හේතුවක් නැහැ.

පිළිවෙළට නිවාසවල ජීවත්වන මිනිසුන්ටතමයි අපිළිවෙළ නැති කරන්න පුළුවන්. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඇතුළු මේ රජයට අවශ්‍ය අසරණ වුණු, දුප්පතුන්ගෙන් පිරුණු කොළඹ නගරයක් නොවේ. අභිමානයෙන් සතුටින් ජීවත්වන මිනිසුන්ගෙන් පිරුණු කොළඹ නගරයක්. අපිළිවෙළට තියෙන විට ඡන්ද කාලේට විවිධ පුද්ගලයෝ එනවා. රුපියල් 500ක් හරි, කුඩු පැකට් ටිකක් හරි බෙදාල ඡන්ද ලබා ගන්නවා. කුඩු පානය කරන අය වැඩිවෙන කොට කුඩු පැකට් එකට ඡන්දය දෙන අයත් වැඩිවෙනවා.

ඒ තත්ත්වය නැතිකරන්න නම් මේ ජනාවාස පිළිවෙළක් කරන්න ඕන. අද රජය ඒ පෙරළිය, පරිවර්තනය සිදුකරනවා. විරුද්ධ පක්ෂය කො‍හේ හරි ඇදයක් වෙන කල් බලාගෙන ඉන්නේ. දැන් බලාගෙන ඉන්නේ නොරොච්චෝලේ බලාගාරය කැඩෙන කල්, ඒ අයට චෝදනා එල්ල කරන්න වෙන මුකුත් නැති නිසා. නොරොච්චෝලේ කැඩුණොත් නම් කල්ල මරේ කියලා දෙවියන්ට පහන් පත්තු කරනවා.

කැඩුණු ගමන් සතුටු වෙන කොටස් දෙකක් සිටිනවා. ඉන් එක් කොටසක් තමයි ඩීසල් බලාගාර මාෆියාව. අනෙක් කොටස විරුද්ධ පක්ෂය. මේ නොරොච්චෝලේ බලාගාරය හැදුවේ ඇමරිකාව හෝ බ්‍රිතාන්‍ය නම් විරුද්ධ පක්ෂය අද කට අරින්නේ නැහැ. චීනය නොරොච්චෝලේ බලාගාරය හදපු නිසා චීනයටයි ආණ්ඩුවටයි දෙකටම චෝදනා එල්ලකරන්න බලාගෙන ඉන්න විරුද්ධ පක්ෂයේ අය අඩු පාඩුවක් වෙනකල් බලාගෙන ඉන්නවා හැරෙන්න අද ඒ අයට පෙන්වන්න අනාගත ගමනක් හෝ තර්කයක් නැහැ.

එක්සත් ජාතික පක්ෂයේ අලුත්ම අර්බුදය පිළිබඳවද ඇමැතිවරයා මෙහිදී අදහස් දැක්වීය. “මට දැනගන්න ලැබුණා කළුතර දිස්ත්‍රික්කයේ තෙවරප්පෙරුම මන්ත්‍රීතුමා වික්‍රමසිංහ මහත්තයාගේ බෙල්ලෙන් අල්ලන්න ගියා කියලා. මීට කලිනුත් එක්සත් ජාතික පක්ෂයේ නායකයෝ හිටියා. ඒ එක නායකයෙකුගේ වත් බෙල්ලෙන් අල්ලලා තියෙනවාද? එහි සාමාජිකයෙක්. මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමකදී ගහන්න ඇවිල්ලා තියෙනවාද? බෙල්ලෙන් නොවේ වෙන කොහෙන් ඇල්ලුවත් වික්‍රමසිංහ මහත්තයා යන පාටක් තියෙනවාද? මොනව කළත් එතුමා යන්නේ නැහැ. විරුද්ධ පක්ෂය අද අර්බුද ගොඩක ඉන්නේ. රජයේ ගමන ගැන චෝදනා කරන්න දෙයක් නැහැ.

මෙහිදී අදහස් දැක්වූ නාගරික කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි මහතා’ විමල් වීරවංශ ඇමැතිවරයා රට වෙනුවෙන් විශාල තර්ජනයකට මුහුණ දීලා සිටින ඇමැතිවරයෙක්. ඕනෑම ප්‍රශ්නයක් සාකච්ඡා කරලා ජනතාවට තේරුම්කරලා දෙන්න පුළුවන් මම පිළිගන්න නායකයෙක් තමයි එතුමා. මේ පැවැත්වෙන මැතිවරණය මම හඳුන්වන්නේ අපේ රටේ පමණක් නොවේ ජාත්‍යන්තර වශයෙන් පිළිතුරක් දෙන මැතිවරණයක්. විමල් වීරවංශ ඇමතිතුමා පිළිගන්නේ ජනතාවගේ සතුට ඔහුගේ සතුට කියලා. ඒ අනුව කටයුතු කරනවා. එතුමා කරන දේවල්වලට ජනතාව පිං දෙනවා. එතුමා රැය දවල් බලන්නේ නැතිව නිවාස වැඩපිළිවෙළ දියත් කරනවා.

විමල් වීරවංශ ඇමැතිතුමාගේ මේ වටිනා වැඩපිළිවෙළ නිසා අහිංසක මිනිසුන්ට සතුටින් ජීවත්වෙන්න අවස්ථා ලැබෙනවා. මේ නිවාස අලුත්වැඩියා කරන්න කරන වියදම්වලින් එතුමාගේ අමාත්‍යාංශයට ප්‍රතිලාභ ලැබෙන්නේ නැහැ. ස්ටුවඩ් වීදියේ මහල් නිවාස යෝජනා ක්‍රමය නවීකරණය කරන්න විමල් වීරවංශ ඇමැතිතුමා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. නමුත් එය නගර සභාවට අයිති නිසා ඉවත්කරගන්න වුණා. එය දැන් නාගරික සංවර්ධන හා ආරක්ෂක අමාත්‍යාංශයට පවරාගෙන තියෙනවා. එතුමා එය ප්‍රතිසංස්කරණය කරන්න හැදුවා. නමුත් මුදල් අමාත්‍යාංශයේ සමහර නිලධාරීන් එයට සහයෝගයක් ලබාදුන්න් නැහැ යනුවෙන්ද පැවසීය.

වහල අලුත්වැඩියාව, වැහිපීලි හා වැසි නල අලුත්වැඩියාව, මල නාලිකා පද්ධතිය අලුත්වැඩියාව, කානු පද්ධතිය අලුත්වැඩියා කිරීම, ජල ටැංකි අලුත්වැඩියාව, ජල කාන්දු සැකසීම, ගොඩනැගිලි සියල්ලේ තීන්ත ආලේප කිරීම ඇතුළු ප්‍රතිසංස්කරණ රැසක් මෙහිදී සිදුකර ඇත.

කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල්, ඉදිකිරීම්, ඉංජිනේරුසේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් පී.එච්.එල්. විමලසිරි පෙරේරා, සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ සභාපති නීතිඥ කපිල ගමගේ, එහි සාමාන්‍යාධිකාරී ජී.යූ. උපවංශ, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරී බ්‍රිගේඩියර් මහින්ද මුදලිගේ, ජන සෙවණ නිවාස මහලේකම් කාර්යාලයේ උපදේශක ලක්විජය සාගර පලන්සූරිය යන මහත්වරු, නිලධාරි මහත්ම මහත්මීහු, ප්‍රදේශවාසීහු ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

 

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා