මුද්‍රණය සඳහා

 
මතින් තොර දේශයක් ගොඩනැඟීමේ ජනපති වැඩපිළිවෙළට පොලීසියේ සහාය

මතින් තොර දේශයක් ගොඩනැඟීමේ ජනපති වැඩපිළිවෙළට පොලීසියේ සහාය

- ‍ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ

මත්ද්‍රව්‍යවලින් තොර දේශයක් ගොඩනැඟීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ‍යෝජනා කර තිබෙන ජාතික වැඩපිළිවෙළට ශ්‍රී ලංකා පොලීසිය පූර්ණ කැපවීමෙන් සහයෝගය ලබා දීමට සූදානම් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවැසීය.

දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් ඔස්සේ මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කරවීමට ශ්‍රී ලංකා පොලීසිය, මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය උපරිම සහයෝගය දෙන බව පැවසූ ඒ මහතා ‍ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ දැන් සැකසෙමින් තිබෙන බව ප්‍රකාශ කළේය.

ඒ මහතා මෙසේ ප්‍රකාශ කළේ පොලිස් මූලස්ථානයේ දී ඊයේ (9) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ජනාධිපතිතුමාගේ උපදෙස් මත මේ සඳහා කමිටුවක් පත් කෙරෙන අතර ඒ සඳහා අවශ්‍ය කටයුතු දැන් සිදුකෙරෙමින් පවතින බව පෙන්වා දුන් ඒ මහතා මත්ද්‍රව්‍ය තුරන් කිරීම ප්‍රමුඛ කාර්යයක් සේ සළකා කටයුතු කරන බව පැවැසීය.

මේ රටට මත්කුඩු රැගෙන එන ප්‍රධාන මාර්ග මෙන්ම ප්‍රධාන ජාවාරම්කරුවන් ද මේ වන විට හඳුනාගෙන ඇති බවත් ඒවා වැළක්වීමට ගත් පියවර අනුව මේ දිනවල රටේ මත්කුඩු හිඟයක් පවතින බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

මත්කුඩු තුරන් කිරීම එක දිනකින් කළ නොහැකි නමුත් දූපතක් වශයෙන් සියලු දෙනාගේ සහයෝගය ලැබුණහොත් අපට මත් කුඩු තුරන් කළ හැකි බව ඒ මහතා පැවසීය.

අගමැති කාර්යාලයේ නිලධාරියකු සම්බන්ධ වූ බව කියන මත්කුඩු කන්ටේනරය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වෙන බවත් ඊට සම්බන්ධ පාකිස්ථාන ජාතික ජාවාරම්කරුවකු වන සර්දාරී ඛාන් ප්‍රශ්න කිරීම සඳහා මෙරට ගෙන ඒමට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් කටයුතු සිදු කෙරෙමින් පවතින බවත්ය. ඔහුගෙන් කරුණු රැසක් හෙළිදරව් කර ගත හැකි වනු ඇතැයි විශ්වාසය පළ කළ අජිත් රෝහණ මහතා ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කළ යුතුව තිබෙන බවත් පැවසීය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2014 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]