ආහාර ද්‍රව්‍ය රැසකින් රට ස්වයංපෝෂිත මට්ටමේ: පිටරටින් ගෙන්වන්න ණයවර ලිපි නිකුත් කරන්න එපා

ආහාර ද්‍රව්‍ය රැසකින් රට ස්වයංපෝෂිත මට්ටමේ: පිටරටින් ගෙන්වන්න ණයවර ලිපි නිකුත් කරන්න එපා

- ආචාර්ය පී. බී. ජයසුන්දර

සහල්, බඩඉරිඟු, උඳු, අර්තාපල්, වියළි මිරිස්, ලොකුලූනු යනාදී ආහාර ද්‍රව්‍යවලින් රට ස්වයංපෝෂිත මට්ටමට ළඟාවී ඇති බැවින්, ඒවා පිටරටින් ගෙන්වීමට ණයවර ලිපි (LC) නිකුත් කිරීමෙන් වළකින ලෙස මුදල් හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා රාජ්‍ය බැංකු ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කෙළේය.

“මහින්ද චින්තනයේත්”, “මහින්ද චින්තන ඉදිරි දැක්මේත්” සඳහන් ආකාරයට ම දේශීය කෘෂි කර්මාන්තය මේ වනවිට සැලකිය යුතු තත්ත්වයකින් ඉදිරියට පැමිණ ඇතැයි කී ආචාර්ය ජයසුන්දර මහතා, ඒ නිසා පිටරටින් ආහාර ද්‍රව්‍ය ගෙන්වීමට ණයවර ලිපි නිකුත් කරනවාට වඩා, දේශීය ගොවිතැනත්, ගොවියාත් සුරක්ෂිත කරන්නට වැඩි වශයෙන් බැංකු අත දිය යුතු කාලය එළඹ ඇතැයිද කීය. දළ වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 150ක මුදලක් මේ ආහාර ද්‍රව්‍ය ගෙන්වීමට වැය වෙනවා. එය නතර කර ගත්තොත් රටට හොඳයි ඔහු කීය.

වී ගොවිතැන දියුණු කිරීම ප්‍රධාන අප රටේ ගොවිතැන නැංවීමට වාර්ෂිකව බිලියන 40 මුදලක් පොහොර සහනාධාරයට රජය ලබා දෙන බව ලේකම්වරයා කීය. ඊට අමතරව නව වැඩි දියුණු කළ බීජ, පැළ හා කෘෂි උපදේශන සේවා ලබාදෙන බව ද කී ලේකම්වරයා, රාජ්‍ය බැංකු සියල්ල දේශීයත්වය මුල්තැනට ගෙන රටවැසියා ශක්තිමත් කිරීමට එක්විය යුතු බව කීය.

“මහජන බැංකුව මුහුණ දෙන අභියෝගය හා ඉන් මිදීමේ මඟ” පිළිබඳව කොළඹ ඩී. ආර්. විජේවර්ධන මාවතේ පිහිටි මහජන බැංකු මාණ්ඩලික පුහුණු ආයතන ශ්‍රවණාගාරයේ ඉකුත් දා (07) පැවැති විශේෂ දේශනය පවත්වමින් ලේකම්වරයා, මේ අදහස් පළ කළේය.

ලංකා බැංකු සේවක සංගමයේ සංවිධාන ශක්තියෙන් මහජන බැංකුවේ සභාපති සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සේදර සෙනරත්, ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපතිනි ඩබ්ලිව්. ඒ. නාලනී, එම්.බී.එස්.එල්. බැංකුවේ සභාපති එම්. ආර්. ෂා, මහජන බැංකුවේ ප්‍රධාන විධායක සහ සාමාන්‍යාධිකාරි එන්. වසන්ත කුමාර්, ලංකා බැංකු සේවක සංගමයේ සභාපති ඒ. කේ. බණ්ඩාර, ප්‍රධාන ලේකම් අශෝක ධර්මසිරි යන මහත්ම මහත්මීහු ඇතුළු වෘත්තීය සමිති, බැංකු පරිපාලක, සේවක නියෝජිතයෝ විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් මේ සම්මන්ත්‍රණය පැවැත්විණි.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා