ශ්‍රී ලංකාව කාන්තා බලගැන්වීම්වලට අදාළ සාර්ථක පියවර රැසක් ගෙන ඇති රටක්...

ශ්‍රී ලංකාව කාන්තා බලගැන්වීම්වලට අදාළ සාර්ථක පියවර රැසක් ගෙන ඇති රටක්...

 - ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ

රවී ශංකර් ආර්ටි ඔෆ් ලිවින්ග්ස් පදනම මඟින් සංවිධාන කළ ඉන්දියාවේ බැංගලෝර්හිදී පැවැති කාන්තා සමුළුවට සහභාගි වූ ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය එහි සංවිධායකවරියක සමඟ කතාබහක නිරතව සිටි අයුරු. ඡායාරූප ලලිත් වැලිවිටිගොඩ

ශ්‍රී ලංකාව කාන්තා බලගැන්වීම්වලට අදාළව සාර්ථක පියවර රැසක් ගෙන ඇති බව ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මහත්මිය ඉන්දියාවේ බැංගලෝර්හි දී පැවැති අන්තර්ජාතික කාන්තා සමුළුවක් අමතා පෙරේදා (08) ප්‍රකාශ කළාය. රටේ ව්‍යවස්ථාව අනුව ද ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සෑම පුරවැසියකුගේ ම මූලික ප්‍රජා අයිතියක් බව පිළිගෙන ඇති බව ද ඇය සඳහන් කළාය.

ශ්‍රී ලංකාවේ කාන්තා ප්‍රඥප්තිය අනුව කාන්තාව සඳහා දේශපාලන සහ සිවිල් හිමිකම්, අධ්‍යාපනය, ආර්ථික ප්‍රතිලාභ, ආරක්ෂාව සහ පෝෂණය, සමාජයීය විෂමතාවන්ගෙන් ආරක්ෂාව, හිංසාවෙන් තොරව ජීවත්වීම යනාදී අයිතිවාසිකම් රැසක් හිමිවන බව ද එතුමිය ප්‍රකාශ කළාය. රවි ශංකර්තුමාගේ “ආර්ට් ඔෆ් ලීව්නින්ග්” පදනම මගින් මෙම සමුළුව සංවිධාන කර තිබිණි.

සියලු දෙනාට ම පොදු සමඟි සම්පන්න සාමකාමී පරිසරයක් ගොඩනැඟීමේ අරමුණින් ලොව සියලුම කලාපයන්හි වෙසෙන කාන්තාවන් ඒකරාශි කිරීම සඳහා වාර්ෂිකව මෙම සම්මේලනය සංවිධානය කරනු ලබන අතර, “පරිපූර්ණත්වයෙන් ප්‍රවර්ධනයට” යන්න මෙවර සමුළුවේ තේමාව විය. මෙවර පැවැත්වූයේ 06 වන සමුළුවයි.

එම සමුළුව වැඩි දුරටත් ඇමතූ ජනාධිපති ආර්යාව සඳහන් කළේ කාන්තා බලගැන්වීමට අදාළ සාර්ථක පියවර රැසක් ගෙන ඇති රටක් නියෝජනය කිරීමට ලැබීම පිළිබඳ තමා සතුටට පත්වන බවයි.‍ අද ලාංකික කාන්තාවන් විවිධ ක්ෂේත්‍රයන්හි වගකීම උසුලන බව ද පෙන්වා දුන් ජනාධිපති ආර්යාව, සංස්ථා හා කර්මාන්ත තුළ ද රාජ්‍ය අංශය මෙන් ම ආරක්ෂක අංශවල ද මෙතෙක් පැවැති බාධක බිඳලමින් ඉදිරියට යෑමට ඇය සමත් වී ඇති බව ද සඳහන් කළාය.

ජාතීන් අතර මෙන්ම ගෝලීය මට්ටමින් ද සමාජ ප්‍රගතිය සඳහා කාන්තාවන්ගේ කාර්යභාරය අතිශයින් වැදගත් බව ද ජනාධිපති ආර්යාව පෙන්වා දුන්නාය. සමාජයට මවක්, සොහොයුරියක්, බිරිඳක්, මිතුරියක්, වෘත්තියක යෙදෙන්නියක් මෙනක්ම සුවසාධනිය සාධකයක් ලෙස කාන්තාවගේ මෙහෙවර විවිධ වූවකි. විවිධ සමාජ ස්ථරයන් හා ඒකාබද්ධ අන්තර් සහයෝගිතාව ගොඩනැගීම මගින් එකී අරමුණ ළඟා කර ගත හැකි බව ද ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිනිය පෙන්වා දුන්නාය. පොදු අනාගත සුබසිද්ධිය උදෙසා කාන්තාවන් උදෙසා මෙවන් සාකච්ඡා පැවැත්වීම වර්තමාන ලෝකය තුළ ඉතා උචිත කාර්යභාරයක් බව ද පෙන්වා දුන් ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිනිය, ගැටීම් අභිබවා සමගියටත්, දූෂණයෙන් මනා පාලනයටත්, හිංසාවෙන් අවිහිංසාවත් ළඟා කර ගැනීම සඳහා කාන්තාවන් අතර මෙවැනි සාකච්ඡා ඉතා වැදගත් බව ද සඳහන් කළාය.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා