කොළඹ නගරාධිපතිගේ බිරියට නාම යෝජනා නොදුන්නාට එජාප ජ්‍යෙෂ්ඨයන් තනතුරු අත්හරින තීරණ

කොළඹ නගරාධිපතිගේ බිරියට නාම යෝජනා නොදුන්නාට එජාප ජ්‍යෙෂ්ඨයන් තනතුරු අත්හරින තීරණ

ඡන්ද සටන ආරම්භයේදී ම කඩා වැටෙන හැඩ

කොළඹ නගරාධිපති ඒ . ජේ . එම් මුසම්මිල් මහතාගේ බිරියට කොළඹ දිස්ත්‍රික්කයට නාම යෝජනා ලබා නොදීම හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂඨයෝ රැසක් සිය ධූරවලින් ඉල්ලා අස්වීමට තීරණය කිරීමෙන් එජා ප කොළඹ දිස්ත්‍රික් ඡන්ද සටන ආරම්භයේම කඩා වැටී ඇති බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. පෙරෝසා මුසම්මිල් මහත්මියට නාමයෝජනා ලබාදිය යුත්තේ සිය ඥාතිත්වය නිසා නොව දශක තුනක් පුරා පක්ෂය වෙනුවෙන් සිදු කළ සේවයට යැයි ප්‍රකාශ කර ඇති එ ජා ප සභාපති හා නායකත්ව මණ්ඩල සභික කබීර් හෂීම් මහතා ඇයට නාම යෝජනා ලබා නොදීම හේතුවෙන් සිය සභාපති ධූරයෙන් හා නායකත්ව මණ්ඩල සභික ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි සිරිකොත ආරංචි මාර්ග අනාවරණය කරයි.

එසේම බිරිඳට නාමයෝජනා ලබා නොදීම සම්බන්ධයෙන් දැඩි කළකිරීමට පත්ව සිටින කොළඹ නගරාධිපතිවරයා එ ජා ප කෘත්‍යධිකාරී මණ්ඩලයෙන් ඉල්ලා අස්වීමටද සූදානමින් සිටින බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

මැද කොළඹ එජාප කළමණාකාර ඩී. එම්. සී. ඥානසේන මහතා මුසම්මිල් මහත්මියට නාම යෝජනා ලබා නොදීම හේතුවෙන් දැඩි කළකිරීමට පත්ව විසි වසරක් පුරා දැරූ කළමණාකාරිත්ව ධූරයෙන් ඊයේ (09) ඉල්ලා අස්වී ඇති බවත් ඊට අදාළ ලිපිය විපක්ෂ නායවරයා වෙත යවා ඇති බවත් පැවසේ. නාමයෝජනා මණ්ඩලයේ ඇති වූ මේ අර්බුධකාරී තත්ත්වයට මුහුණදීමට නොහැකිව විපක්ෂ නායකවරයා හදිසි ඉන්දියානු සංචාරයකට එක්ව ඇති බවද ඔහු හනුමන්තා දේවාලය ඇතුලු දේවාල ගණනාවකට යමින් පුද පූජා පවත්වන බවද සිරිකොත නිලධාරීහූ පවසති.

මීට පෙර මධ්‍යම පළාත් නාමයෝජනා සැකසීමේදී නාම යෝජනා මණ්ඩලයේ විරෝධතා මැද අසාද් සාලි මහතාට නාම යෝජනා ලබාදීමට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඒකමතිකව තීරණය කළ බවත් එහෙත් බස්නාහිර පළාත් මැතිවරණයේ නාම යෝජනා සැකසීමේදී වික්‍රමසිංහ මහතා එම ස්ථාවරය වෙනස් කර ඇති බවත් පැවසේ.

විපක්ෂ නායකවරයා උදහසට ලක්වී සිටින මෛත්‍රී ගුණරත්න සහ ශිරාන් ලක්තිලක මහත්වරුන් මේ වන විට රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය දක්වමින් සිටින බව එම ආරංචි මාර්ග වැඩි දුරටත් කියයි.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා