සුදු කැස්බෑවන් තුන්දෙනාට ආරක්ෂාව දෙන්න අපට බෑ

සුදු කැස්බෑවන් තුන්දෙනාට ආරක්ෂාව දෙන්න අපට බෑ

-දෙහිවල සතුන්වත්තේ අධ්‍යක්ෂවරිය අධිකරණයට දන්වයි

තැබීමට සුදුසු ආරක්ෂිත තැනක් හොයන්න

- මහේස්ත්‍රාත්ගෙන් නියෝග

දෙහිවල සත්තුවත්තේ සිටින සුදු කැස්බෑවන් තිදෙනා තැබීමට සුදුසු ස්ථානයක් සොයාබලා අධිකරණයට වාර්තා කරන ලෙස බලපිටිය මහේස්ත්‍රාත් අසංග බෝදරගම මහතා වනජීවී අධ්‍යක්ෂ ජනරාල් එච්.රත්නායක මහතාට (07දා) නියෝග කළේය.

බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් මත දෙහිවල සත්තුවත්තට බාරදුන් කැස්බෑවන් තිදෙනාට අවශ්‍ය ආරක්ෂාව සැපයීමට නොහැකි බවට දැනුම් දීම නිසා මහේස්ත්‍රාත්වරයා මේ නියෝග කළේය.

කොස්ගොඩ කැස්බෑ පර්යේෂණ මධ්‍යස්ථානයේ සිටි සුදු කැස්බෑවන් අතර සිටි රුපියල් ලක්ෂ හාරසියයක් වටිනා සුදු කැස්බෑවකු සොරකම් කිරීම සම්බ්නධයෙන් දෙසැම්බර් 16 දින කොස්ගොඩ පොලිසියට පැමිණිල්ලක් කර තිබුණි.

කොස්ගොඩ කැස්බෑ පර්යේෂණ මධ්‍යස්ථානයේ හිමිකරු වන කලුහත් මනුසිරි මහතා කොස්ගොඩ පොලිසියට කරන ලද පැමිණිල්ල මත පරීක්ෂණ පැවැත්වූ පොලිසිය හිමිකරුගේ දියණියගේ නිවෙසේ සිටියදී සුදු කැස්බෑවන් දෙදෙනෙක් ද කැස්බෑ මධ්‍යස්ථානයේ සිටියදී දෙදෙනෙක් ද සොයා ගනු ලැබීය.

සුදු කැස්බෑවා සොරකම් කිරීම සම්බන්ධ පැමිණිල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව කැස්බෑ මධ්‍යස්ථානයේ සිටින සුදු කැස්බෑවන් හතර දෙනා දෙහිවල සත්තුවත්තට බාර දෙන ලෙස මහේස්ත්‍රාත්වරයා විසින් පොලිසියට නියෝග කරනු ලැබීය.

අධිකරණ නියෝගය මත සත්තුවත්තට බාර දුන් සුදු කැස්බෑවන් හතර දෙනා අතර සිටි එක් සුදු කැස්බෑවකු නියෝමෝනියා රෝගයෙන් පසුගියදා මිය ගියේය.

සුදු කැස්බෑවෙකු මිය යාමෙන් පසුව කැස්බෑවන්ට නිසි ආරක්ෂාව සැපයීමට නොහැකි බව සත්තුවත්ත භාර අධ්‍යක්ෂතුමිය අධිකරණයට දන්වා සිටියේය. මේ සුදු කැස්බෑවන් දෙහිවල සත්තුවත්තේ මින්මැදුර පිටුපස තබා ඇති බවත් කැස්බෑවන්ට අවශ්‍ය මුහුදු ජලය සැපයීමට නොහැකි නිසා කැස්බෑවන්ට සුදුසු ස්ථානයක් ලබා දෙන ලෙස සත්තුවත්තෙන් කරන ලද ඉල්ලීම නිසා මහේස්ත්‍රාත් මේ නියෝගය නිකුත් කළේය.

සත්තුවත්තේ දී මිය ගිය සුදු කැස්බෑවාගේ සිරුර කෞතුකාගාරයේ තැබීමටද මහේස්ත්‍රාත්වරයා නි‍යෝග කළේය.

නැවත කැදවීම මේ මස 19 වැනි දිනට කල් තැබීය.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා