ක්‍රිකට් බලය රටවල් තුනක් අතට

තරගය ජය පැරදුමින් තොරව අවසන් වීම ගැන නායකයෝ එකිනෙකාට විවේචනය කර ගනිති

ශ්‍රී ලංකා-බංග්ලාදේශ දෙවැනි ටෙස්ට් ගැටුම

චිතගොංහි පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකාව ලබා දුන් ඉලක්කය හඹා යාමට උත්සාහ නොකිරීම පිළිබඳව ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් බංග්ලාදේශය විවේචනයට ලක් කරයි. තරගය ජය ගැනීමට හැකිවන තරම් සාර්ථකත්වයෙන් යුතුව පන්දු යැවීමට ශ්‍රී ලංකාව අසමත් වූ බව බංග්ලාදේශ නායක මුෂ්ෆිකර් රහිම් පවසයි.

ශ්‍රී ලංකාව ලබා දුන් ලකුණු 467ක ජයග්‍රාහී ඉලක්කය හඹා යනවාට වඩා ජය පැරදුමින් තොර කෙළවරක් සොයා යාමට බංග්ලාදේශය තීරණය කළ බැවින් ද්විත්ව ටෙස්ට් තරගමාලාව අවසන් වූයේ ශ්‍රී ලංකාවට තරග 1-0ක ජයක් අත්කර දෙමිණි.

මෙය ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව ලැබූ ප්‍රථම විදෙස් ටෙස්ට් තරගමාලා ජයග්‍රහණය වෙයි. දිනේෂ් චන්දිමාල්ට තෙවැනි ටෙස්ට් ශතකයක් වාර්තා කිරීමට අවස්ථාව ලබා දීම පිණිස ශ්‍රී ලංකාව තරගයේ සිවුවැනි දිනයේ ප්‍රමාද වී ඔවුන්ගේ දෙවැනි ඉනිම නතර කළේය.

මේ හේතුවෙන් එදින සවස ශ්‍රී ලංකාවට යැවීමට ඕවර අටකට වඩා ඉතිරි වූයේ නැත. “අපි ඇත්තටම ප්‍රමාද වෙලා ඉනිම නතර කළේ නැහැ” යැයි මැතිව්ස් කීවේය. “ලකුණු 467ක් හඹා යාමට ඔවුන්ට වුවමනාව තිබුණා නම් ඔවුන්ට එය කළ හැකිව තිබුණා. නමුත් එවැනි ඕනෑකමක් තිබෙන බවක් ඔවුන් පෙන්නුවේ නැහැ.

කුමාර් සංගක්කාර

ඔවුන්ට ඕවර 98ක් තිබුණා. අපිට ඊට වඩා ඕවර යවන්න හැකියාව තිබුණා. නමුත් ඔවුන් ජයග්‍රහණයක් කරා යන කිසිම බලාපොරොත්තුවක් පෙන්නුම් කළේ නැහැ. අපි 1-0කින් තරගමාලාවේ ඉදිරියෙන් සිටි නිසා කරන යමක් කරන්න තිබුණේ එයාලටයි. නමුත් අපි තරගයේ අවසන් දිනය එනතුරු බලා නොසිට සිවුවැනි දිනයේම ඉනිම නතර කළා. අපි ධනාත්මකව සිටිමින් ජයග්‍රහණය කරාම යන්න උත්සාහ කළා.”
ශ්‍රී ලංකා පළමු ඉනිම

ඕවර 156.4කදී සියල්ලන් දැවී ලකුණු-587යි. කුමාර් සංගක්කාර 319, මහේල ජයවර්ධන 72, අජන්ත මෙන්ඩිස් 47 (ෂකීබ් අල් හසන් 148/5, නසීර් හොසේන් 16/2)

බංග්ලාදේශය පළමු ඉනිම

ඕවර 119.5කදී සියල්ලන් දැවී ලකුණු-426යි. ඉම්රුල් කයිස් 115, ෂම්සූර් රහමාන් 106, ෂකීබ් අල් හසන් 50 (අජන්ත මෙන්ඩිස් 99/6, ඩිල්රුවන් පෙරේරා 119/3)

ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම

ඕවර 75.5කදී කඩුලු 4ක් දැවී ලකුණු-305යි. කුමාර් සංගක්කාර 105, දිනේෂ් චන්දිමාල් නොදැවී 100, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 43 (මොහොමඩ් මහමුදුල්ලා 46/2)

බංග්ලාදේශය දෙවැනි ඉනිම

 

ටී.ඉක්බාල් ප.විතානගේ 31

එස්.රහ්මාන් ප.පෙරේරා 45

අයි.කයිස් ක.මු.ක ප.පෙරේරා 25

එම්.හක් නොදැවී 100

එස්.හසන් නොදැවී 43

අතිරේක 27 එකතුව කඩුලු 3ක් දැවී (ඕවර 84.4) 271

කඩුලු බිඳ වැටීම: 1-71, 2-81, 3-151

පන්දු යැවීම: ලක්මාල් 13-5-30-0, පෙරේරා 28-7-55-2, මෙන්ඩිස් 16-0-61-0, ප්‍රදීප් 9.4-1-33-0, විතානගේ 16-0-73-1, කරුණාරත්න 2-0-5-0

“ඔවුන් ලකුණු හඹා ගියොත් ඔවුන් සියළු දෙනාවම දවාලන්න පුළුවන් බව අප දැන සිටියා. මේ විකට්ටුවේ කල්පනාවෙන් පන්දුවට මුහුණ දුන්නොත් බේරිලා ඉන්න පුළුවනි. නමුත් විකට්ටුව මන්දගාමී එකක් නිසා ලොකු පහරවලට යන්න බැහැ. අප සතුව නොයෙකුත් ආකාරයේ පන්දු යවන්නන් සිටියා. හොඳින් පන්දු යවන අජන්ත මෙන්ඩිස්, ඩිල්රුවන් පෙරේරා හා සුරංග ලක්මාල් අපට සිටියා. ඒ නිසා බංග්ලාදේශය ජයග්‍රහණය කරා ගියා නම් ඒ අභියෝගය බාර ගන්න අපි සූදානමින් සිටියා” යැයි ශ්‍රී ලංකා නායකයා කියා සිටියේය.

මීට ප්‍රතිචාර ලෙසින් මුෂ්ෆිකර් රහිම් විසින් මැතිව්ස් ශ්‍රී ලංකා ඉනිම නතර කළ වේලාව පිළිබඳව ප්‍රශ්න කළේය.

“සිවුවැනි දිනයේ ඔවුන් අපට ක්‍රීඩා කිරීමට සැලැස්සුවේ ඕවර කිහිපයකට පමණක් වීම ගැන මට පුදුමයි. මම ශ්‍රී ලංකාවට නායකත්වය දෙමින් සිටියා නම් මම ඕවර විස්සක් ඉතුරු කරලා දෙනවා. ලකුණු 350-400ක ඉලක්කයක් තිබුණා නම් සතුටු වෙන්න පුළුවන් කියා මම හිතනවා.”

“අපි හොඳින් ‘බැට්’ කරාම අපට ලැබිය යුතු අගය කිරීම අපට කවදාවත් ලැබෙන්නේ නැහැ කියලයි මම හිතන්නේ. මේ තරගයේ කඩුලු විස්සක් ලබා ගැනීමට හැකි අයුරින් ශ්‍රී ලංකාව පන්දු යැව්වේ නැති බව මගේ කල්පනාවයි” රහිම් ප්‍රකාශ කළේය.

ඕවරයකට ලකුණු 5.25ක් බැගින් පාකිස්තානය මෑතකදී ශ්‍රී ලංකාවට එරෙහිව සිදුකළ ලකුණු 302ක ඓතිහාසික හඹා යාමෙන් පිළිබිඹු වන්නේ ලකුණු 467ක් යනු හඹා යා හැකි ඉලක්කයක් බවද මැතිව්ස් පෙන්නා දුන්නේය.

“වුවමනාව තිබුණා නම් එය කළ හැකිව තිබුණා” මැතිව්ස් කීවේය. “2-0කින් තරගමාලාව පරාජය වීමේ අවදානම තිබුණත් තරගමාලාව සම කරගන්න කෙනෙක් උත්සාහ කරාවි. සාජාහිදී පාකිස්තානය කළේ එයයි. මේ තරගමාලාව 1-1ක් ලෙසින් අවසන් කරගන්න බංග්ලාදේශයට වුවමනාවක් තිබුණා නම් අඩුම ගණනේ ඔවුන් එය පෙන්නන්න තිබුණා. නමුත් ඔවුන්ට එවැනි වුවමනාවක් තිබුනේ නැහැ. අපි ඔවුන් සියළු දෙනාවම දවාලන්න උත්සාහ කළත් විකට්ටුව පන්දු යවන්නන්ට සහාය වුනේ නැහැ” මැතිව්ස් කියා සිටියේය.

තරගය ක්‍රීඩා කෙරුණු තණතීරුව තාර දැමූ පාරක් වැනි යැයි මැතිව්ස් කීවේය. “පන්දු යවන්නන් ඔවුන්ගේ උපරිමයෙන් ක්‍රීඩා කළත් කිසිම උපකාරයක් ලැබුණේ නැහැ. එය ක්‍රීඩාශීලී තණතීරුවක් නෙවෙයි. පිතිකරුවන්ට පමණක් පරාදීසයක් වූ තණතීරුවක්” ඇන්ජලෝ මැතිව්ස් වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේය.

දෙවැනි තරගයේ අවසන් දිනය (8) ආරම්භ කරනවිට කිසිවකු නොදැවී ලකුණු 12ක් ලබාසිටි බංග්ලාදේශ දෙවැනි ඉනිමේ පළමු කඩුල්ල ලකුණු 71දී බිඳ වැටිණි. කිත්රුවන් විතානගේ තම මංගල කඩුල්ල ලෙසින් ටම්මි ඉක්බාල් ලකුණු 31කට දවාගත්තේය.

දිවා ආහාරය වනවිට බංග්ලාදේශ ඉනිමේ ලකුණු 91කට කඩුලු 2ක් බිඳ වැටි තිබිණි. ලකුණු ලබාගැනීමට වඩා කඩුලු ආරක්ෂා කිරීමේ අරමුණින් ක්‍රීඩා කිරීම නිසා බංග්ලාදේශයේ මුල් ලකුණු 100 වාර්තා කිරීමට ඕවර 38.4ක් වැයවීය.

ලකුණු 151දී බංග්ලාදේශ තෙවැනි කඩුල්ලෙස ඉම්රුල් කයිස් ලකුණු 25කට පිටියෙන් ඉවත් විය. බංග්ලාදේශය පරාජයෙන් බේරාගැනීමේ සටනක නිතරවු මොමුනුල් හක් ලකුණු 100 වාර්තා කිරීමත් සමග කණ්ඩායම් දෙකේ නායකයන්ගේ එකඟත්වයෙන් තරග නතර කෙරුණි. ඒ වනවිට බංග්ලාදේශය කඩුලු 3කට ලකුණු 271ක් රැස්කරගෙන සිටියේය.

බංග්ලාදේශ ඉනිමේ බිඳ වැටුණු අනෙක් කඩුලු 2 ඩිල්රුවන් පෙරේරා විසින් බිඳ දැමුවේය. දෙවැනි තරගයේ වාර්තා පිට වාර්තා බිහිකළ කුමාර් සංගක්කාර මේ තරගයේ වීරයා මෙන්ම තරගාවලියේ වීරයා ලෙසින්ද නම් කෙරිණි.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා