මුද්‍රණය සඳහා

 
ඒ කාලෙ අපි අපිටම ගුරුවරු වුණා

ඒ කාලෙ අපි අපිටම ගුරුවරු වුණා

රෝහණ බැද්දගේ

හොරණට කිලෝමීටර අටක් පමණ ඔබ්බෙන් පිහිටි දකුණු උඩුව කියන්නෙ බොහොම සුන්දර ගම්මානයක්. උදේ පාන්දරින් ම මීදුම් සේලය පොරවාගෙන නිසොල්මනේම හිඳින කඳු යාය, මේ ගමට ගෙනාවෙ අමුතුම සිරියාවක්. 1930 දශකයේ මැද භාගය වන විට මේ ගමට ම තිබුණෙ ගෙවල් කිහිපයක් විතරයි.

ඉන් එක් නිවෙසක් බැද්දගේ පවුලට අයත්ව තිබුණා. ඔය කාලෙ වෙනකොට බැද්දගේ යුවළට පිරිමි දරු පැටවු දෙන්නෙකුයි, සිඟිති දියණියන් දෙන්නෙකුයි හිටියා. තවත් දරු පැටියෙක්ගෙ කිරි සිනහ දකින්න පෙරුම් පුරමින් සිටි මේ යුවළගෙ බලාපොරොත්තු මල්ඵල ගැන්වුණා.

හරියටම 1935 වසරේ ඉල් මහේ පළමුවැනිදා. පවුලෙ උදවියගෙ නම්බුව රකින්න පුළුවන් පුංචි පුතෙක් මේ පවුලට එක්වුණා කියලා හැමෝම සතුටට පත්වුණා.

“සිරියාවන්ත කොලු පැටියෙක්”

බලන්න එන නෑදෑයො හැමෝම, දරුවා වටේට රොක්වෙලා කිව්වා. වෙලාව බලලා, ගණ එහෙම පිහිටවලා මේ පුංචි කොලු පැටියට රෝහණ බැද්ද‍ගේ කියලා නම තැබුවා.

මේ අය පදිංචිවෙලා හිටි අක්කර 15ක් විතර විශාල ඉඩමක. ඒ ඉඩමෙ එක පැත්තක ආතලගෙ ගෙදර. ඒ ඉඩමට කිව්වෙ මහගෙදර වත්ත කියලා. අනෙක් පැත්තෙ ගෙදර හිටියෙ මහප්පා. ළඳු බැදිවලින් වටවුණු මේ පොල් ඉඩමෙ තවත් පසෙකින් රෝහණගෙ තාත්තා ගේ දොර හදාගෙන දරු පැටවු එක්ක හිටියා. මේ හැමෝම හිටියෙ හරිම සාමයෙන් සමඟියෙන්.

මේ පොල් ඉඩම මැද්දෙන් යනකොට කජු ගස් යායක් තිබෙනවා. කජු වාරෙට පැණි බේරෙන කජු පුහුලං එල්ලිලා තියෙන්නෙ තැඹිලිපාට, රතුපාට, කහපාට, කොළපාට බල්බ් වැලක් එල්ලලා වගේ. උදේ පාන්දරට ගී කියමින් කජු පුහුලම් හප කරන වවුලන්ගෙ නාදය නිසා හැමෝටම ඇහැරෙනවා. දැනුම් තේරුම් ඇති වංගිය වෙනකොට සරමත් කැසපට ගහගෙන, රෝහණ කියන ‍ කොලු ගැටයා උදේ පාන්දරම කජු අහුලන්න යන්නෙ හරිම සංතෝෂෙන්.

ඒ විතරක් යැ. ජන ගායනාවල හඬ රැව් පිළිරැව් දෙන්නෙ කොතනද, කාන්දමක් වගේ එතැනට ඇදෙනවා. කෝලම් මඩු, ඔංචිලි වාරම්, රබන් සෙල්ලම, ඔළිඳ කෙළිය, එළුවන් කෑම, තොවිල් පවිල්වලට, කොළ මැඩුමට එක්කාසුවෙලා කව් ගී කිව්වෙ හරිම විනෝදෙන්. ඒ වගේ ම තමයි, ගල් ලෑල්ලයි, ගල් කූරයි අරගෙන, වෙල් එළියේ, ළඳු බැදි, දෙවැට දිගේ දුවපනිමින් පාසල් යන්නත් පුදුම කැමැත්තක් දැක්වූවා.

මේ කොලු පැටියට අවුරුදු හත වෙනකොට පියා මේ ලෝකයෙන් සමු අරගෙන යන්නෙ, මේ දරු පවුල තනිකර දමමින්. අක්කලා දෙන්නත්, අයියලා දෙන්නත්, රෝහණත්, මල්ලිත් කුඩා දරුවන් විදිහට වුණේ මොකක්ද? වෙන්නෙ මොකක්ද? කියලා දැනුම් තේරුම් ඇතිව හිටියෙ නෑ. කොහොම කොහොම හරි මේ දරුවන්ගේ මව වත්තෙ පිටියෙ වැඩ ටික කරගෙන, මේ දරුවන්ගෙ කුස ගිනි නිවමින් ඔවුන් ජීවත් කරන්න නොවිඳිනා දුක් වින්දා.

“බේත් සීට්ටුවක් කියවන්න පුවන් තරමට ඉගෙන ගත්තහම හොඳටම ඇති. ඕනෑවට වැඩිය ඉගෙන ගෙන මහ ඒජන්තො වෙන්නයෑ.”

ඒ කාලෙ ගැමියො කිව්වෙ ඔය වගේ කතා. ඒ නිසා බොහෝ දෙනා මුල් සංධියෙ පාසල් ගියාට පස්සෙ පස්සෙ පාසල් යාම නතර කරනවා. ගෙදර දොරේ වැඩවලට උදවු පදවු කරගෙන, මාපියන්ගෙ ජීවනෝපාය කරගෙන යන්න උර දෙනවා. ඔය අතරේ රෝහණගෙ අයියටත් ගෙදර වැඩ යමරෙට තිබුණු නිසා, පාසල් යාම අත්ඇරෙනවා.

ප්‍රිය බිරිය සමඟ

ලැබූ සම්මාන

රංගනයේ අවස්ථාවක්

හරක් බලන්න, කුඹුරු වැඩ, වත්තෙ පිටියෙ වැඩවලට යොමුවුණ අයියා, පවුලට ලබා දුන්නෙ ලොකු ශක්තියක්. එයා නිසා අම්මටත් සැනසීක් තිබුණා. ඒත් ‍ මොන ප්‍රශ්න ආවත් රෝහණ නම් පාසල් ගමන නවත්වන පාටක් පේන්න තිබුණෙ නෑ. ඔය අතරවාරෙ පහේ පන්තියෙ හිටිද්දි ඉස්කෝලෙ ලොකු මහත්තයාගෙන් අම්මට කැඳවීමක් ලැබෙනවා.

“මේ දරුවා නැටුමට, ගැයුමට හරිම දස්සයි. පුළුවන්නම් මෙයාව තක්ෂිලාවට දාන්න. මේ විෂයයන්වලට එයා කැමැති නිසා, එහෙට ගි‍යොත් ලොකු ජයග්‍රහණයක් ලැබේවි.”

කොහොම කොහොමහරි 1948 එක්තරා දවසක, නගරෙ තියෙන ලොකු ඉස්කෝලෙට රෝහණ කොලුවා ඇතුළු වෙනවා. එහෙදි තමයි සංගීතය, නැටුම් කියා වෙනම විෂයයන් ඇති බව ඔහුට දැනගන්න ලැබෙන්නෙ. නිම්හිම් නැති සතුටක් හිත පුරා නැගෙද්දි මේ දරුවා නැටුම් විෂය තෝරා ගන්නවා. එක එක අවස්ථාවල ගායනා කටයුතුවලට එයාට සංගීත ගුරුවරයත් අඬගහනවා.

1954 වසරේදී එස්.එස්. සී. විභාගය සමත් වීමට ඔහුට හැකිවුණා. 1953 දී හේවුඩ් කලායතනයට බැඳුණු ඔහුට, ලයනල් එදිරිසිංහ වැනි සංගීතවේදීන් ඇසුරේ අධ්‍යාපන කටයුතු කරන්න අවස්ථාව ලැබුණා.

“උඹට මොනවද ඉගෙන ගන්න ඕනෙ?” ලයනල් එදිරිසිංහයන් ඇහුවා.

“වයලීන්” කියලා ඔහු එදා කිව්වෙ දරාගන්න බැරි තරම් සංතෝෂයකින්.

1956 වර්ෂයේදී මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ‘මනමේ’ නාටකය නිෂ්පාදනය කෙරුණා. 1959 එම නාට්‍යයේ සංගීත ස ැපයුමේදී බටනලා වාදකයෙක් ලෙස ඔහුට ප්‍රවේශ වන්නට ලැබීම ජීවිතයේ ලද විශාල භාග්‍යයක් වුණා.

ඩබ්ලිව්. ඩී. දහනායක මහතා අග්‍රාමාත්‍යවරයාව සිටි කාලයේදී සංගීත සහ නැටුම් විෂයයන්ට ගුරුවරු 600ක් බඳවා ගන්නා බවට කෙරුණු දැන්වීම අනුව, ඉල්ලුම් පත්‍ර යැවූ බැද්දගේගෙ ජීවිතයේ විශාල පරිවර්තනයක් සිදුවුණේ මෙන්න මේ අවධියේදියි.

මගේ ජීවිතයේ විශාල පරිවර්තනයක් වුණේ 1959 වර්ෂයේ නැටුම් ගුරුපත්වීමක් ලැබූවට පස්සෙයි. පළමු පත්වීම ලැබුණේ දොම්පෙ පාසලකට. ඒත් මට ඒ පත්වීම කුළුපන ඉස්කෝලෙට හදාගන්න පුළුවන් වුණා. ඔය කාලෙදි තමයි ඩබ්ලිව්.බී. මකු‍ලොලුව මහත්තයා අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ධුරයට පත්වුණේ. මං ඉගෙන ගන්න පාසලට සේවය කරන්න මට අවකාශ ලැබෙන්නෙ ඔය අතරතුරේදියි. ඒ අනුව මකුලොලුව මහත්මයා මට තක්ෂිලාවට ගුරුපත්වීමක් අරන් දුන්නා.”

මේ අතරතුරේදී ගිරාගම සංගීත ගුරු විද්‍යාලයට ඇතුළුවීමට ඔහුට ඉඩ ප්‍රස්ථා ලැබෙනවා. එහි පුහුණුවට ගිය පළමු කණ්ඩායම බවට පත් වුණෙත් මේ පිරිසයි. ඒ 1972 දී.

“අපි එහෙ යන කොට අපට උගන්වන්න අය එහෙ හිටියේ නෑ. අපි අපටම ගුරුවරු වුණා. එක එක්කෙනා තම තමන් දන්න දේ අනෙක් අයට දේශන විදිහට කියා දුන්නා. අපේ සිලබස් හදාගත්තෙ අපිමයි. කටුකුරුන්දෙ තිබුණ සංස්කරණ සම්මේලනවලදී විෂය නිර්දේශයට අවශ්‍ය දේ කතා කළා. විෂය නිර්දේශ හැදුනෙ එහෙමයි. ගුරු විද්‍යාල විෂය නිර්දේශ මුලින්ම හැදුවෙ අපියි.”

සංගීතයට, නර්තනයට දිවි හිමියෙන් ම ආදරය කරන ඔහු, සංගීතයට යොමුවුණේ කවද්ද කියලා බොහෝ දෙනා ප්‍රශ්න නගනවා. ඒ වෙලාවට තමයි ඔහුට කටඋත්තර නැත්තෙ.

“ඔබ සංගීතයට, නැටුමට පිවිසුණේ කොයි කාලෙ ඉඳලද කියලා කවුරුහරි මගෙන් ඇහුවොත්, මට දෙන්න තියෙන්නෙ එක ම එක උත්තරයයි. ඒ ‘මම දන්නෙනෑ’ කියලයි. මට බලපාන සංගීතය තිබුණෙ කෝලම් මඩුවල, වෙලේ,ගමේ සෙල්ලම් කරන තැන. පුංචි කාලෙ ඉඳලම එක එක දේවලට සහභාගි වෙලා, කව් ගී කියලා ලැබූ අත්දැකීම් තමයි මට ගීත ගායනයට වගේ ම නර්තනයටත් පිටිවහලක් වුණේ. හැබැයි සමහරුන්ට ඒක සංගීතය නොවෙන්න පුළුවන්.

ඒත් සංගීතයේ උත්පත්ති කතාව ඇහුවොත් ඒක බිහිවෙලා තියෙන්නෙ මෙවැනි දේ ආශ්‍රයෙනුයි. ඉන්දියානු රාගධාරි සංගීතය හදාරපු කෙනෙක්ට මේ කතාවෙ අමුත්තක් දැනෙන්න පුළුවන්. ඒ දැනුමෙන් මේ දිහා බැලුවොත් තමයි මේ අමුත්ත දැනෙන්නෙ. ඒත්, මාව නිර්මාණය කළේ පුංචිම පුංචි සංධියෙ ඉඳන්ම මං ලැබූ අත්දැකීම් කිව්වොත් එය නිවැරැදියි. කුඹුර කියන්නෙ මගෙ ජීවිතයට බලපෑ ප්‍රධාන තැනක්.”

රෝහණ බැද්දගේ සිය හඬ අවදි කළා. ගායනය, නර්තනය, වේදිකා සහ ටෙලි නාට්‍ය රඟ පෑම නාට්‍ය රචනය හා අධ්‍යක්ෂණය වැනි කලා ලොව නෙක් ඉසව් අතික්‍රමණය කළ ඔහු, එදා මෙන් අදත් ගැමිකමට ආදරය කරන, ගැමියන් හා එක්ව කටයුතු කරන, ආදරණීය කලාකරුවෙක්. එදා ඔහු ගම හා එක්ව ගෙවු දිවිය, අදටත් සුන්දර මතක කැන්දාගෙන ඒමට සමත්. ඔහු හැදූ වැඩූ ගමට කළගුණ දක්වන මේ සොඳුරු මිනිසා, ගම හැරදා නොයන්නෙත් ඒ නිසාමයි.

ගෙදරදි සවස ආගමික වතාවත්වලින් පස්සෙ අපි හැමෝම එකතුවෙලා යශෝදරාවත, ලෝවැඩ සඟරාව, ගණදෙවි හෑල්ල කියෙව්වා. පන්සලේදි පෙරහරට එක්වුණා. මඟුල් ගෙවල්වලදි අෂ්ටක, ශ්ලෝක කිව්වා. අපිව නිර්මාණකරුවො බවට පත්කළේ එදා තිබුණ සමාජ වපසරියයි. ඒත්අද මේ දේවල් ගැන ළමයි තියා වැඩිහිටියොවත් දන්නෙ නෑ.

කුඩා කාලෙ ඉඳන් මං ජන ගී ගායනවාලට, නාට්‍ය රඟපාන්න, සිංදු කියන්න දක්ෂයි. ගමේ අය ඒ විදිහට මාව හඳුනාගෙන හිටියත් මුළු රටම මාව අඳුන ගත්තේ 1972 විතර. මගේ ගී ඒ වන විට ගුවන්විදුලියෙන් ප්‍රචාරයවෙලා තිබුණත්, ජනතාව අතර මං ජනප්‍රිය චරිතයක් බවට පත්වුණේ මගෙ රත්තරං හෙලේනා’ ගීතය ජනප්‍රිය වුණාට පස්සෙයි.

එදා ගීත පටිගත කිරීමේ තාක්ෂණය අද වගේ දියුණු මට්ටමක නෙමෙයි තිබුණෙ. සමහරදාට එක ගීතයක් පටිගත කරන්න පැය ගාණක් ගතවුණා. පාන්දර වෙනකං එක ම සිංදුව පටිගත කළ වෙලාවන් තිබුණා. ගායනා කරන ගීතයේ අන්තිම වචනෙ අන්තිම අකුර උච්චාරණයේ ගැටලුවක් ඇති වුණොත් නැවත මුල ඉඳන්ම ගීතය ගායනා කළා.

සංගීතය සපයන්නෙකුගෙන් පොඩි වැරැද්දක් වුණත් ගීතය ආපහු මුල ඉඳන් ම පටිගත කරනවා. හොඳම දේ ජනතාව අතරට ගෙනයාමේ අරමුණෙන් කටයුතු කළ නිසා, අපි අපේ රාජකාරිය කළේ පැය ගණනකට සීමා වෙලා නෙමෙයි.”

1953 සිට 1985 දක්වාම නැටුම් හා සංගීත ගුරුවරයකු විදිහට කටයුතු කිරීමට රෝහණ බැද්දගේට හැකිවුණා. අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞන්දර්ය අධ්‍යාපනයට අදාළව සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කිරීමට 1989 සිට 1991 කාලය තුළ ඔහුට අවස්ථාව හිමි වුණා. ඔය අතරතුරේ විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයකු ලෙස මෙරට දුවා දරුවන්ගේ සෞන්දර්ය අධ්‍යාපනය පොහොණි කිරීමටත් අවස්ථාව ලැබෙනවා.

“මං කවදාවක්වත් විශ්වවිද්‍යාලයක ඉගෙනගෙන උපාධි ලබලා නෑ. ඒත් මට බාහිර කථිකාචාර්යවරයකු ලෙස විවිධ අවස්ථාවල විශ්වවිද්‍යාලවල කටයුතු කරන්න ලැබුණා. 1986 සිට 1989 වෙනකං කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධිත සෞන්දර්ය අධ්‍යාපන ආයතනයේ කථිකාචාර්යවරයකු ලෙස කටයුතු කළා. 2000 - 2007 කාලයේදී සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ජන සංගීතය පිළිබඳ බාහිර කථිකාචාර්යවරයෙක් විධිහට කටයුතු කළා. උපාධියක් නැතත්, මට ඒ තැන කරා ළඟා වෙන්න පුළුන් වුණේ අපි දක්ෂයො බව රටට පෙන්නුම් කළ නිසයි.”

වේදිකා නාට්‍ය තුළ ද දක්ෂයකු වුණු බැද්දගේ, තමා විසින්ම රචනා කර අධ්‍යක්ෂණය කළ වේදිකා නාට්‍ය කිහිපයක් ම දකින්න පුළුවන්. 1962 දී බළල් සාස්තරේ, 1967 දී අලකලංචි, 1969 ගල්වැහි, 2012 දි රාලහාමි නිර්මාණය කළ ඔහු, සැබැවින්ම ප්‍රතිභාපූර්ණ කලාකරුවෙක්. 1963 දී ඩබ්ලිව්. බී. මකුලොලුව නිර්මාණය කළ හෙළ මියැසිය ද, 1965 දී ඔහුගේ ම දෙපානෝ ද, 1975 දී දයානන්ද ගුණවර්ධන නිර්මාණය කළ ගජමන් පුවත, 1978 දී ඔහුගේ ම මධුර ජවනිකා වේදිකා නාට්‍ය නිර්මාණයෙත්, 2012 දී රෝහණ දන්දෙනියගේ රාස්ස සහ පරාස්ස වැනි වේදිකා නාට්‍ය බොහොමයක රංගනයේ යෙදෙන ඔහු වේදිකා නාට්‍ය සඳහා සංගීතයෙන් වගේම නැටුම් නිර්මාණයෙනුත් දායකවී තිබෙනවා. සක්කාය දිට්ඨි, අඹුසැමියෝ, ජසයා සහ ලෙංචිනා, ගජමන් පුවත, මධුර ජවනිකා, ආනන්ද ජවනිකා, මීපුරවැසියෝ එම නිර්මාණ විදෙිහට සඳහන් කරන්න පුළුවන්.

“පළිඟු මැණිකෙ, කන්දෙ ගෙදර, වෙස් තට්ටුව, නියං උකුස්සෝ, ඉරට අඬන මල් වැනි ටෙලිනාට්‍යවල ප්‍රධාන චරිතය මං රඟපාලා තිබෙනවා. පළිඟුමැණිකෙ ටෙලි නාට්‍ය රූගත කිරීම්වලදී මං මුහුණදීපු එක්තරා සිදුවීමක් මතක් වෙද්දි මට අදටත් හිනහා යනවා.

ඔය නාට්‍යයේ මට හරකෙක් නෑවීමට එක් දර්ශනයක් තිබුණා. ගඟ පහළට හරකව දාලා නාවන්න තමයි මට පැවරිලා තිබුණෙ. ඒ රූගත කිරීම කළ ස්ථානයේ ගඟ ගාව තිබුණෙ තනිකරම බෑවුමක්. හරකව නාවන්න ගන්නවා ගන්නවා. ඒත් මේ සතාව මේච්චල් කරන එක හරිම අපහසුයි. ඌ පැනලා දුවනවා. සාමාන්‍යයෙන් අපි හරකෙක් පැනලා දුවනකොට කරන්නෙ ගහකට කඹේ අල්ලලා නතරකර ගන්න එකනෙ. ඒත් මෙතන තිබු‍ණු තත්ත්වෙත් එක්ක එහෙම කරන්න වදෙිහක් තිබුණෙත් නෑ. අන්තිමට කොහොම හරි උදේ අටට විතර හරකව නාවන්න ගත්තට, මට දහවල් දොළහ වෙනකොටත් ඌව නාවලා ඉවරකර ගන්න බැරිවුණා. ඒ වෙනකං මට එක දර්ශනයක් අවසන් කර ගන්න බැරි වුණා.”

කලා දිවියේ කටයුතු වෙනුනේ කැප‍වෙන්න ගොස්, එය ඔහු මුහුණ දුන් අකරතැබ්බයක් වුණත්, ඒ අපූරු සිදුවීම ගැන පවසද්දි ඔහුට ඇතිවන සිනහව නවතා ගන්නටත් බැරි තරම්.

කලාකරුකු ලෙස දිගු ගමනක් ඒමට, බිරිය පද්මතිලකා බැද්දගේගෙන් ලැබුණු සහය අප්‍රමාණයි. රටක් වටින කලාකරුවෙක් විදිහට අප සැම සලකන, අගය කරන මොහු, රටක් වටිනා දියණියකගේ සහ පුතෙකුගේ පියෙක්. දියණිය තුෂාරි බැද්දගේ. ඇය ගුවන්විදුලි සංස්ථාවෙ සංගීත අංශයේ නිෂ්පාදිකාවක්. පුතා තාරක බැද්දගේ. ඔහු රූපවාහිනී මාධ්‍ය ආයතන කිහිපයකම සේවය කරලා මේ වන විට තමන්ගේ ම වැඩසටහන් නිෂ්පාදන ආයතනයක් පවත්වාගෙන යනවා.

විවිධ දක්ෂතා නිසා සම්මානයට පාත්‍රවූ ඔහු, 1976 වසරේදී කොන්ත නේනා 1980 පරාස්ස, 1986 ආනන්ද ජවනිකා, 1995 දී අන්දරේලා හි හොඳම සංගීතය වෙනුවෙන් සම්මානයට පාත්‍ර වුණා. රාජ්‍ය සංගීත උත්සවයේදී 1986 වසරේදී හොඳ ම සංගීත වේදී සම්මාන‍ය ද, 2003 දී කලාශූරී සම්මානය ද, 2012 දී ජාතික සාහිත්‍ය කලා ප්‍රසාදිනී උළෙලේදී දේශ නේතෘ සම්මානය ද හිමිවුණේ කලාව වෙනුවෙන් ඔහු කළ මෙහෙවර නිසයි.

“කලාකරුවෙක්ට තමන් ඉපැදුණු ගමෙන් සම්මානයක් ලැබෙනවා කියන්නෙ මහත් ම භාග්‍යයක්. ඒ භාග්‍යය මට හිමිවුණා. 2012 වසරේදී මට රයිගම් සේසත සම්මානය පුද කරලා, මගේ ගමේ ජනතාව දැක්වූ උපහාරය නිසා, මගේ හිත පුදුමාකාරයේ පිබිදීමක් ලැබුවා...”

මෙරට වෙසෙන සහෘදයන් පමණක් නොව, විදෙස් රටවල වෙසෙන සහෘද සිත් සනසන්නට වරෙක විදෙස්ගත වන ඔහු, මෙරට දු දරුවන්ගේ සංගීත, නැටුම් හැකියා ඔප කරනු වස්, හොරණ සඳගිරිපාය කලායතනය පිහිටුවමින් ලබාදෙන සේවය ද ප්‍රශංසනීයයි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2014 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]