දිල්ලියට අනතුරු ඇඟවීමක්!

දිල්ලියට අනතුරු ඇඟවීමක්!

උතුරු පළාත් සභා මැතිවරණය මේ රටේ දේශපාලන ගමන් මගේ සන්ධිස්ථානයක් ලෙස බොහෝ දේශපාලන විචාරකයෝ සැලකූහ. තිස් වසරක යුද්ධයෙන් පසුව උතුරේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමේ දැවැන්ත පිම්මක් ලෙස උතුරු ‍පළාත් සභාව ස්ථාපනය වීම සැලකුවාට ද කිසිදු සැකයක් නැත.

එම පළාත් සභාව සහ රජය අතර සංහිඳියාවක් සහ සුහදතාවයක් ඇතිවේයැයි ද සැමදෙනම අවංකවම විශ්වාස කළහ. වයෝවෘද්ධ, පළපුරුදු වැදගත් සිහිකල්පනා සහිත ‍මහ ඇමැතිවරයෙක් ඇතුළු ද්‍රවිඩ දේශපාලන කරළියේ ප්‍රබල චරිත ගණනාවක් මෙම පළාත් සභාවට තේරී පත්ව සිය වැඩ කටයුතු ආරම්භ කළහ.

එහෙත් පළාත් සභාවේ ආරම්භයේ පටන්ම ඔවුනගේ ක්‍රියාකාරිත්වය තරමක සංකූලතාවකට පත්ව තිබෙන බව, ඒ කෙරෙහි මැදහත් සිතින් විමසා බලන්නකුට පෙනේ.

ඔවුහු ප්‍රථමයෙන් තිස් අවුරුදු යුද්ධයකින් පසුව ද්‍රවිඩ ජනතාවගේ ශේෂව තිබූ ප්‍රශ්නවලට විසඳුම් සෙවීම පසෙක තිබියදී “ගනු කඩුව එනු සටනට” න්‍යාය ඔස්සේ යමින් ඉඩම්, පොලිස් බලතල ඇතුළුව පුළුල් බලතල ඉල්ලා කේවල් කරන්නට පටන් ගති.

එසේ තිබියදී ජනාධිපතිතුමා ඔවුහු සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම සඳහා විවිධ උත්සාහයන් දරන ලදී. ඒ අතර ඔවුන් ඈතට ඈතට යමින් දහතුන් වෙනි සංශෝධනය පූර්ණව ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දියාව පෙලඹවිය යුතු යැයි තරයේම කියා සිටියහ. ස්වෛරී ස්වාධීන රාජ්‍යයක් තුළ ක්‍රියාත්මක වන මෙම පළාත් සභාව තම අභ්‍යන්තර ප්‍රශ්නයක් විදේශ රටක් හරහා ක්‍රියාත්මක කිරීමට ‍යාම දේශපාලන අර්බුදයක මූලාරම්භයක් වනවා පමණක් නොවේ. රටේ ස්වාධිපත්‍යය හෑල්ලු කිරීමක් ලෙසද සැලකිය හැකි වෙයි.

අනෙක් අතින් දෙමළ ඩයස්පෝරාව ඇතුළු පටු ‍අන්තවාදී කණ්ඩායම්වල ජාතික ප්‍රශ්න ජාත්‍යන්තරකරණය කිරීමේ ක්‍රියාදාමය උතුරේ පළාත් සභාවද අනුගමනය කරන්නට පටන් ගැනීම කොතෙක් දුරට සාධාරණද යන්න සිතා බැලිය යුතුය.

ඔවුහු ‍එතෙකින් නැවතුණේ නැත. විටින් විට ඉන්දියාවට සංචාරය කරමින් ඊනියා මානව හිමිකම් පිළිබඳ ප්‍රශ්න ද ජාත්‍යන්තර තලයේ හුවාදැක්වීමට විවිධ උප්පරවැට්ටි යෙදූහ. එහි ඊළඟ ජවනිකාව වී ඇත්තේ නවදිල්ලිය සමඟ ඍජු ගුවන් සබඳතා පවත්වා ගැනීම සඳහා පනත් සම්මත කර ගැනීමේ උත්සාහයයි.

මේ සියලු උත්සාහයන්ගෙන් පෙනී යන්නේ වර්ධරාජා පෙරුමාල්ගේ උතුරු නැඟෙනහිර පළාත් සභාව ගත් ක්‍රියා මාර්ගය වෙනත් ආකාරයකින් අනුගමනය කරන බවයි.

දුරදිග සිතා බලන ඉහ මොළ ඇති කවරකු විසින් හෝ මෙබදු ක්‍රියාමාර්ගයක් ගන්නේ නම් ඔහු යැවිය යුත්තේ පළාත් සභාවට නොව අංගොඩය.

වර්ධරාජා පෙරුමාල්ගේ පළාත් සභාවට අත්වූ ඉරණම විග්නේෂ්වරන් ඇතුළු නඩයට අමතක වී ගියා සේය. වෙල්ලමුල්ලි වයික්කාල්හිදී ප්‍රභාකරන් ඇතුළු කුරිරු ත්‍රස්තවාදීන්ට අත්වූ ඉරණමද උතුරු පළාත් සභාව කරන්නවුනට අමතක වී ඇතිබව පෙනේ. සංහිඳියාව, ජාතික ඒකාග්‍රතාව, මූලික මිනිස් අයිතිවාසිකම්, යහපාලනය පිළිබඳ හඬ තැළූ ජාත්‍යන්තර ප්‍රජාවට උතුරු පළාත් සභාවේ මේ අත්තනෝමතික ක්‍රියාව නොපෙනීම ඉතා කනගාටුදායකය.

එසේම උතුරු පළාත් සභාවේ මේ මුරණ්ඩු ක්‍රියාදාමය ප්‍රභාකරන් බලාපොරොත්තු වූ තමිල් ඊළම රාජ්‍යතාන්ත්‍රික මාර්ගවලින් ලබාගැනීමේ ප්‍රයත්නයක් බවද තදනන්තරව සිතා බලන්නෙකුට පැහැදිලිව පෙනී යන කරුණකි. සම්මත කරගත් ගුවන් ගමන් යෝජනාව ශ්‍රී ලංකාවට තවත් අතකින් බිය ගෙන දෙන්නක් වෙයි.

ඒ මන්ද 1987 දී ඉන්දියාව අපට ගුවනින් පරිප්පු දැමූ ඛේදජනක සිදුවීම අපේ ජනතාවට තවමත් හොඳහැටි මතකය. දිල්ලිය සමඟ කිරීමට අදහස් කරන මේ ගුවන් සබඳතාව නැවත මතුවන්නේ පරිප්පු දැමීමකට වඩා බිහිසුණු ප්‍රතිඵල ගෙන දෙන උත්සාහයකටය. මහාධිකරණ විනිසුරුවරයකු වූ විග්නේෂ්වරන් මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෝ ඇතිකිරීමට මාන බලන මේ බිහිසුණු තත්ත්වය ජාත්‍යන්තර මිම්මෙන් හෝ වේවා ජාතික මිම්මෙන් හෝ වේවා අධම වූ දුෂ්ට වූ ක්‍රියාවකට මුල පිරීමක් බව තරයේ සිහි තබා ගත යුතුය.

මේ අතර දිල්ලි ආණ්ඩුව හෙවත් ඉන්දීය මධ්‍යම රජයද සිහි නුවණින් කටයුතු කිරීම වටනේය. ඔවුනට මේ යෝජනා ගෙන එන්නේ එල්.ටී.ටී.ඊ.යේ මතවාදය කර පින්නාගත් පිරිසකි . මේ පිරිස හාදකම් පවත්වන්නේ ඉන්දීය මධ්‍යම රජයට බලපෑම් කරන දකුණු ඉන්දීය තමිල්නාඩු ප්‍රාන්ත රජය සමඟය. එල්.ටී.ටී.ඊ.ය රජීව් ගාන්ධි මරා දැම්මේය. තමිල්නාඩු රජය ඒ වරදකරුවන් ගෙදර පිටත් කර හැරියේය.

දේශපාලන විචක්ෂණභාවයේත්, කෘතහස්තභාවයේත් අරුමය රටට පෙන්වීමට අවස්ථාව තිබිය දීත් විග්නේෂ්වරන් ඇතුළු උතුරේ පළාත් සභාවේ මේ නඩය මේ ආරම්භ කර ඇති විගඩම නරුම දේශපාලනයේත් පටු අන්තවාදී ජාතිවාදයේත් අයහපත් වූ ප්‍රකාශනයක්ම බව වටහා ගැනීම වැදගත් වෙයි.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා