කල්හාරිගේ පුතුගේ සිහිනය ජනපති සැබෑ කරයි

කල්හාරිගේ පුතුගේ සිහිනය ජනපති සැබෑ කරයි

දළ සේයා පට ලෝකයට සමු දෙමින් නව ඩිජිටල් තාක්ෂණ රාජ්‍ය ප්‍රතිපත්තිය පසුගිය අඟහරුවාදා අරලියගහ මන්දිරයේදී හඳුන්වා දුන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ය. දේශීය චිත්‍රපට කලාවට නව ආලෝකයක් එක්කරන මෙම සුවිශේෂී අවස්ථාවට එක්වීමට නළු නිළියන්, ගායක ගායිකාවන් ඇතුළු කලාකරුවන් අති විශාල පිරිසක් පැමිණ සිටියහ.

ඉතා සතුටු සිතින් මුව සරසාගෙන සිටි ජනාධිපතිතුමාට රෝද පුටුවක සිටින සුපුරුදු මුහුණක් නෙත ගැටුණි. රුව හඳුනාගත් ජනාධිපතිතුමා “කොහොමද සුමින්ද මට හිතාගන්නත් බැරිවුණා” යැයි සුමින්ද සිරිසේන මහතා දෙස බලමින් කීය. “අනේ සර්, මම අසනීප වුණා” යැයි සුමින්ද වචන ගැළපීය. “බයවෙන්න එපා සුමින්ද අපි ඉන්නවානේ, කරන්න තියෙන දේ අපි කරනවා” යැයි ජනාධිපතිවරයා සුමින්ද අස්වසමින් කීවේ ඔහුගේ දෙනෙතින් කඳුළු නැ‍ඟෙද්දීය. ජනාධිපතිවරයා සියලු කලාකරුවන් සමීපයට යමින් ඔවුන්ව නමින් ආමන්ත්‍රණය කළේ පිරිස පුදුමයට පත් කරවමිනි.

අපේ රටේ ප්‍රධානම විකට නළුවන් දෙදෙනා අවට සිටින්නන් ප්‍රීති ප්‍රමෝදයට පත්කරමින් කලාකරුවන් සිනා සාගරයක ගිල්වමින් සිටියහ. එම ස්ථානයට සේන්දු වූ ජනාධිපතිවරයා බන්දු සමරසිංහ හා ටෙනිසන් කුරේගෙන් විමසීමක් කරන්නත් මත්තෙන් “සර් බොරු‍ නෙමේ, ශ්‍රී ලංකාව නියම රටක්, අපට කිසි කරදරයක් නැහැ, හොඳට කාලා බීලා ජොලියේ ඉන්නවා” යැයි කීහ. ඔවුන්ගේ හැසිරීම දැක සිනහව පාලනය කරගෙන සිටි ජනාධිපතිතුමාට අවසානයේ සිනාවට ඉඩ දෙන්නට සිදුවිණි.

චම්පා කල්හාරිගේ මේසය අසලට පැමිණි ජනාධිපතිතුමා ඇගෙන් තොරතුරු විමසුවේය. “සර් පොඩි දරුවන් වඩාගෙන සිප ගන්නවා දැකලා මගේ පුතාටත් සර්ගෙන් හාදුවක් ගන්න ඕනෑ වෙලා මට කරදර කරනවා. දවසක් සර්ව දැකලා මගේ පුතා සර්ගේ බඩට හාද්දක් දීලා ගිහින්.

මගේ පුතා සර්ගෙන් හාදුවක් ගන්න ආසාවෙන් ඉන්නේ” යැයි චම්පා කල්හාරි සිය පුතු පෙන්වමින් කීවාය. තත්ත්වය වටහා ගත් ජනාධිපතිතුමා දරුවාගේ හිස පිරිමදිමින් දරුවාට උණුසුම් හාද්දක් දුන්නේ දරුවා ප්‍රීතියට පත්කරමින්ය.

නෝමන් පළිහවඩන මහතා ජනාධිපතිවරයාගේ සමීපයට යමින් “සර් කලාකරුවන්ට විශ්‍රාම වැටුපක් හඳුන්වා දුන්නොත් හොඳ නැද්ද” යැයි ඇසීය. “හොඳයි නෝමන්, නමුත් ඒක ටිකක් සංකීර්ණ ප්‍රශ්නයක්. රක්ෂණ ක්‍රමයක් හැදුවොත් ඊට වඩා අර්ථවත්” යැයි ජනාධිපතිතුමා යෝජනා කළේය.

“ඒකත් හොඳටම හොඳයි සර්” යැයි නෝමන් කීය. ඒ පිළිබඳව අවධානය යොමු කරන ලෙසට අසල සිටි කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයාට ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය. පැය දෙකකට අධික කාලයක් එහි ගතකළ ජනාධිපතිතුමා රාත්‍රී‍ භෝජනය සඳහා කලාකරුවන්ට ආරාධනා කළේය.

අමිර්තලිංගම්ගේ පුතු බගීදරන් අමිර්තලිංගම් මහතා ඩග්ලස් දේවානන්ද මහතා කැටුව පසුගිය බදාදා අරලියගහ මන්දිරයට පැමිණියේ ජනාධිපතිතුමා හමුවීමටය. ජනාධිපතිතුමා සමඟ සුහදව කතා කරමින් සිටි බගීදරන් මහතා “සර් යුද්ධය නිමා කර කෙටි කලකින් රට ගොඩනැඟුවේ කෙසේදැයි” විමසා සිටියේය.

“රජයේ සැලසුම් අනුව එය සිදුකළා, අපි කරන දේ සමහරුන්ට අගයක් නැතැයි” ජනාධිපතිතුමා කීය. “නෑ සර් ඒකේ අගය අපට දැනෙනවා. ඔබතුමා දෙමළ ජනතාවට කරන සේවයට ස්තූතියි” යැයි අමිර්තලිංගම් මහතා කීය.

“කිසිම දෙයක් අගයන අය නැහැ. අපේ රජය කළ දැවැන්ත සංවර්ධනය සමහරු අවතක්සේරු කරනවා. නමුත් එක් අයෙක් හරි එය අගය කරනවා නම් ඒ ගැන සතුටුයි” යැයි ජනාධිපතිතුමා කීය.

ශ්‍රී ලංකා පරිපාලන සේවා නිලධාරීන්ගේ සංගමයේ ස්වර්ණ ජයන්තිය පසුගියදා බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැතියේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්ය. ඒ සඳහා රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්වී සිටියහ. උත්සවය අතරතුරදී නුවරඑළිය දිසා ලේකම් කුමාරසිරි මහතාට දුරකථන ඇමතුමක් ලැබිණි.

“සර් රාගම නිවසක වහලෙට උල්කාෂ්මයක් වැටිලා. පොලිසිය මුරටත් දාලා.” වහා ක්‍රියාත්මක වූ දිසා ලේකම්වරයා කොළඹ විශ්වවිද්‍යාලයට කතා කර කරුණු පැහැදිලි කළේය. පරීක්ෂණය සඳහා රාගමට යෑමට නොහැකි බවත්, උල්කාෂ්මය කොළඹට ගෙනැත් දෙන ලෙසත් විශ්වවිද්‍යාලය දන්වා සිටින විට මඳක් කේන්ති ගියද දිසා ලේකම්වරයා වහා ක්‍රියාත්මක වී පරීක්ෂණ කටයුතු පේරාදෙණියට බාර කළේය.

උත්සවය නිමවා ජනාධිපතිතුමා අසලට සේන්දු වූ දිසා ලේකම්වරයා, ජනාධිපතිතුමාට සිද්ධිය පැහැදිලි කළේය. “සර් මීට ඉස්සර හැටන්වලටත් ඔය ආකාරයටම උල්කාෂ්මයක් වැටුණා. එදත් මට වුණේ මුට්ටියක දාගෙන කොළඹ විශ්වවිද්‍යාලයට උල්කාෂ්මය ගෙනැත් දෙන්න” යැයි දිසා ලේකම්වරයා සිනාසෙමින් කීවේය. ජනාධිපතිතුමාට සිනහ පහළ විය.

සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය සතියේ සෞඛ්‍යාරක්ෂිත දැහැත් විටක් භික්ෂූන් වහන්සේලා වෙත පොළොන්නරුවේදී හඳුන්වා දුන්නේය. එය තවදුරටත් රටපුරා ප්‍රචලිත කරවීම අරබයා හෙතෙම පසුගිය බදාදා මල්වතු අස්ගිරි මහනාහිමිවරු බැහැදැක උන්වහන්සේලාට එම දැහැත් පූජා කළේය.

ඇමැතිවරයාව දුටු මල්වතු මහනාහිමියෝ “ඇමැතිතුමා දරුණු පෑවිල්ලක් තියෙන්නේ” යැයි කීහ.

“පොළොන්නරුව කොහොමත් වියළි කලාපයේ අපේ හාමුදු‍රුවනේ. ඒත් මේ දවස්වල වැව් පිරිලා, නියඟයක ලකුණක්වත් නැතැ”යි ඇමැතිවරයා කීය. අසල පිහිටි කඳු ගැටයක් පෙන්වමින් “ඔය කඳුගැටයේ ඉස්සර තිබුණේ ගෙවල් දෙකයි. නමුත් දැන් රාත්‍රී කාලයට නගරයටත් වඩා කන්දේ ගෙවල්වල විදුලි පහන් දැල්වෙනවා.

ඒ තරමට වනාන්තරය විනාශ කරලා” යැයි මහනාහිමියෝ කීහ. “එහෙමයි හාමුදුරුවනේ, ඉස්සර මහනුවරට එනකොට දියඇලි කොච්චර තිබුණාදැයි” ඇමැතිවරයා කීවේය. “මේ විදියට වනාන්තර විනාශ ක‍ළහොත් ඉස්සරහට දරුණු නියඟයක් එනවා” යැයි නාහිමියෝ පැවසූහ. අස්ගිරි නාහිමියන් බැහැදැකීමට ගිය ඇමැතිවරයා බුලත්, පුවක් හා හුණු පිළිකා කාරක දෙයක් බව වෛද්‍ය පරීක්ෂණාත්මකව ඔප්පු වී තිබෙනවා” යැයි කීය.

පලාලි හා ත්‍රිකුණාමල චීන වරායේ සිට ඉන්දියාව බලා සෘජු ගමන් ආරම්භ කළ යුතු බවට යෝජනාවක් පසුගිය අඟහරුවාදා උතුරු පළාත් සභාවට ටී. එන්. ඒ. මන්ත්‍රී එම්. කේ. සිවාජිලිංගම් ගෙනාවේය. සභාපති කන්දයියා සිවඥානම්ගේ ප්‍රධානත්වයෙන් රැස්වූ උතුරු පළාත් සභාව එම යෝජනාව ඒකමතිකව සම්මත කළේය.

සී. විග්නේෂ්වරම් මහ ඇමැතිවරයා ද එකඟත්වය ලබා දුන්නේය. මාර්තු මස පැවැත්වෙන ජිනීවා මානව හිමිකම් සමුළුව ඉලක්ක කොට ගනිමින් මන්ත්‍රී එම්. කේ. සිවාජලිංගම් වැනි එල්. ටී. ටී. ඊ. හිතවාදීන් මෙම දිනවල ආවේගශීලී ප්‍රකාශ කරන්නේ රජයේ ඇමැතිවරුන් කුපිත කිරීමේ අරමුණින්ය.

ජවිපෙ මහරගම හිටපු නාගරික මන්ත්‍රීගේ නිවසට පැමිණි මිතුරෙකු සොටු පෙරමින් ඇඬුවේ ළඟම මිතුරෙකුගේ මළගමකට සහභාගි වූ අයුරින්ය. “මොකද සහෝදරයා, ඔච්චර අඬන්නේ” යැයි හිටපු නාගරික මන්ත්‍රීවරයා ඇසීය. “නෑ සහෝදරයා ඔයා පරාද වුණේ අපේ ගෑනි ඡන්දය නොදීම නිසා” යැයි කියමින් තව තවත් ඇඬීය.

“උඹ හොඳ මිනිහා, උඹලා වගේ උන් ඇතුලේ ඉන්න ඕනෑ” යැයි කියමින් හෙතෙම හැඬීය. “හරි සහෝදරයා හරි, ඔයාගේ නෝනා මට ඡන්දය දුන්නේ නෑ. ඒකට කමක් නෑ” යැයි හිටපු නාගරික මන්ත්‍රීවරයා කීය. “නෑ ඒක නෙමේ මගේ නෝනා විතරක් නෙමේ මමත් ඡන්දය දුන්නේ නෑ” යැයි විලාප නැඟීය. නාගරික මන්ත්‍රීවරයා මෙම අතීත කතාවක් කියමින් හෝමාගම රැලියට පැමිණ අදහස් දක්වමින් “ඡන්දෙන් පස්සේ අඬන්න එපා, අපිව ඇතුළට යවන්න ඕනෑ නම් ඡන්දය දෙන්න” යැයි කීවේ රැස්ව සිටියන් ද සිනහ ගස්වමින්ය.

කොළඹ දිස්ත්‍රික්කය සඳහා එජනිස අපේක්ෂක උදය ගම්මන්පිල මහතා සහ නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහත්වරුන් ප්‍රචාරක වැඩපිළිවෙළට අවතීර්ණ වී සිටින්නේ නිවුන් සහෝදරයන් පරිද්දෙන්ය.

ගම්මන්පිල ප්‍රචාරක වැඩපි‍ළිවෙළේදී රුපියල් සියය බැගින් එකතු කිරීමේ ව්‍යාපෘතියට කරළියට පැමිණියේ පසුගිය සතියේය. ගම්මන්පිල මහතාට රුපියල් සියයේ මල්මාලා දමමින් පාක්ෂිකයන් පිළිගත්තේ උණුසුම් අයුරින්ය. ඇතැමෙක් බුලත් කොළයක ඔතා රුපියල් සියයේ නෝට්ටුවක් අතමිට මෙලෙව්වේය. එම අවස්ථාවේදී අසල සිටි අය නිශාන්ත දෙස බලමින් කීවේ “ඔබතුමාත් රුපියල් පනහක් හරි එකතු කරන්න” යැයි ඉල්ලීමක් කළේය.

කෑගල්ල දිස්ත්‍රික්කයේ එක්තරා ප්‍රාදේශීය සභාවක එජනිස ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් පසුගියදා දිවුරුම් දුන්නේය. දිවුරුම් දීමේ උත්සවය නීමාවීමට මත්තෙන් උත්සවයට පැමිණි සිටි හිමිනමක් සබරගමුව මහ ඇමැති මහීපාල හේරත් මහතාගේ කනට කොඳුරා යමක් කීය. හිස වනමින් එය අනුමත කළ ඇමැතිවරයා, මයික්‍රෝ‍ෆෝනය සුරතට ගනිමින් නවක මන්ත්‍රීවරයාගේ මවුපියන්ට හා බිරියට වේදිකාවට පැමිණෙන ලෙස ආරාධනා කළේය. වියපත් මවුපියන් මහත් වෑයමක් දරා වේදිකාවට ගොඩවූ අතර තරුණ බිරිඳ ද වේදිකාවට පැමිණියහ.

“අපේ හාමුදුරුවෝ මට පොඩි පැමිණිල්ලක් කළා. නවක මන්ත්‍රීතුමා හැන්දෑවට නරක දේකට පුරුදු වෙලා තියෙනවා කියලා. මහජන නියෝජිතයන්ට ඒවා කිසිසේත් යහපත් නැහැ. මවුපියන්ටයි, හාමුදුරුවන්ටයි පාද නමස්කාර කරලා මින් පසු සුරාමේරය ශික්ෂා පදය කඩන්නේ නැහැ කියල පොරොන්දු වෙන්නැයි” මහ ඇමැතිවරයා කීය. නවක මන්ත්‍රීවරයා පාදනමස්කාර කරද්දී ජනතාවගෙන් උණුසුම් ප්‍රතිචාර හිමිවිය.

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය සඳුදා සිරිකොතේදී රැස්විය.

එහිදී මුලින්ම සිදුකෙරුණේ දැනට පුරප්පාඩුව පවතින එජාප නායකත්ව මණ්ඩලය සාමාජික ධුරයක් සඳහා විජේදාස රාජපක්ෂ මහතා පත්කර ගැනීමය. විපක්ෂ නායකවරයා තලතා අතුකෝරළ වෙනුවට විජේදාස රාජපක්ෂ මහතාගේ නම යෝජනා කළේය. ඒ සඳහා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඒකමතික අනුමැතිය ලැබුණි.

මහරගම එ‍ජාප පාක්ෂිකයන් පවුල් පිටින් ගිහින් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට හැරී තිබෙනවා. හැම ගමකම පවුල් විස්සක් විතර පක්ෂය හැරදා ගිහින් යැයි විජේදාස රාජපක්ෂ මහතා කීය.

නායකත්ව මණ්ඩලයේ අය අතර එක මතයක් නැහැ. එකඟතාවක් නැතුව කොහොමද පක්ෂයක් පවත්වාගෙන යන්නේ. එක් සාමාජිකයෙක් විශේෂ ප්‍රකාශයක් කරලා. එවන් ප්‍රකාශ කරන්න එයාට විතරක් ඇති විශේෂ අයිතිය කුමක්දැයි ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා ප්‍රශ්න කළේය.

සජිත් ප්‍රේමදාසයි, මෛත්‍රී ගුණරත්නයි මගේ ආසනයේ බලහත්කාරෙන් රැස්වීම් පවත්වනවා. මේ තත්ත්වයට විසඳුමක් ඕනෑ යැයි ආනන්ද කුලරත්න මහතා මැසිවිලි නැඟීය.

මෙම 22 දා හම්බන්තොටට ගිහින් ඒ පිළිබඳ සොයා බලන ලෙස විපක්ෂ නායකවරයා නායකත්ව මණ්ඩලයට උපදෙස් දුන්නේය. බස්නාහිර හා දකුණු පළාත් සභා මැතිවරණයට අදාළ ආසන සංවිධායකවරු හා අපේක්ෂකයන්ගේ හමුවක් පසුගිය සිකුරාදා සිරිකොතේදී පැවැතියේ විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන්ය.

රුවන් විජේවර්ධන, හර්ෂ ද සිල්වා මහත්වරු ඉදිරි පෙළ අසුන්ගෙන සිටියදී සුජීව සේනසිංහ මහතා පසුපෙළක අසුන්ගෙන සිටිනු දුටු විපක්ෂනායකවරයා මොකද සුජීව ඔයා පස්සට වෙලා යැයි ඇසීය. සර් මම කොහොමත් ඉතින් ඉස්සරහට ඇවිත් නෑනේ යැයි සුජීව සේනසිංහ මහතා කීවේ පිරිස සිනා සයුරක ගිල්වමින්ය.

සංවිධායකවරුන්ගේ අවසරය නොමැතිව ආසනවලට නොයන ලෙස උපදෙස් දුන්නට නායකතුමා මගේ ආසනයට නළුවෙක් අරන් ආවේ මට නොදන්වා යැයි සුජීව සේනසිංහ කීය. තව දෙයක් කියන්න මට අවසර දෙන්න පුළුවන් දැයි සුජීව නැවත නැඟී සිටිමින් ඇසීය. ඒ දෙස දෑස් ලොකු කර බැලූ විපක්ෂනායකවරයා පුළුවන් යැයි කීය.

මම, මැතිවරණ නීති කඩන නීති උල්ලංඝනය කරන අය පිළිබඳ ලිපිගොනුවක් සිරිකොතේ හදනවා. ඒ සඳහා ඕනෑම කෙනකුට තොරතුරු දෙන්න පුළුවන් යැයි සුජීව කීවේය.

සුජීව වෙරි ගුඩ්’ අයිඩියා යැයි විපක්ෂ නායකවරයා පැවැසීය.

සඳුදා දින මැතිවරණ කාර්යාලයට ගිය එජාප නායකයෝ සුජීව සේනසිංහට ඒ සඳහා ආරාධනා නොකළහ.

මැතිවරණ කොමසාරිස්වරයා සුජීව සේනසිංහට දුරකථන ඇමතුමක් ලබාදෙමින් සුජීව මොකද අද නාවේ යැයි ඇසීය.

මට ඒ සඳහා ආරාධනා ලැබුණේ නැතැයි සුජීව කීය.

මාර පක්ෂයක්නේ නීති දන්න අය තියලද එන්නේ නීති ගැන කතා කරන්න යැයි කොමසාරිස් ඇසීය. අපේ පක්ෂයට ඕක තමා වෙලා තියෙන්නේ යැයි සුජීව කීය.

අඟහරුවාදා පාර්ලිමේන්තු රැස්වීමට පැමිණ සිටි පාලිත තෙවරප්පෙරුම මහතා සාමාන්‍ය පරිදි ඔබ මොබ ගියේ කිසිදු හැලහොල්මනකින් තොරවය. එය දුටු අකිල විරාජ් කාරියවසම් හා ජෝන් අමරතුංග මහත්වරු විපක්ෂ නායකවරයා සමීපයේ රැ‍ඳෙමින් ප්‍රධාන ආරක්ෂකයන් දෙදෙනා මෙන් හැසිරුණහ.

පාර්ලිමේන්තු ආපන ශාලාවට මෙම ආරක්ෂකයන් දෙදෙනා සමඟ ගිය විපක්ෂ නායකවරයාට ලක්ෂ්මන් කිරිඇල්ල මහතා හමුවිය. සර් මේ සැරේ මැතිවරණ පරාජය නම් නායකත්ව මණ්ඩලය පිට දාන්න බැරි පාටයි. ඔබතුමාටම එය බාරගන්න වෙනවා යැයි කිරිඇල්ල මහතා කීය. එය ඇසූ විපක්ෂ නායකවරයාගේ මුහුණ රතුවිය.

ජනතා විමුක්ති පෙරමුණේ අභිනව නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් බස්නාහිර හා දකුණු පළාත් සභා මැතිවරණයේ ප්‍රථම රැලිය පසුගිය සෙනසුරාදා පැවැතියේ මහ‍රගමදීය. රැලිය අවසානයේ වේදිකාව අසලට පැමිණි තරුණයෙක් වේදිකාවට වැඳ නමස්කාර කළේය.

මෙය දුටු මහරගම සංවිධායක ‘සහෝදරයා මොකද මේ වේදිකාවට වඳින්නේ ඔබතුමා බීලා නේද යැයි ඇසීය. මම බීලා තමයි හැබැයි සිහියෙන් ඉන්න අය කරන්න ඕනෑ ඒවා මම බීලා කරන්නේ’ යැයි කියමින් තරුණයා නැවත දිගින් දිගටම වේදිකාවට වැන්දේය.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා