ජනමාධ්‍ය උලුප්පන තරම් පව්කාරයෝ රටේ නැහැ

ජනමාධ්‍ය උලුප්පන තරම් පව්කාරයෝ රටේ නැහැ

ශ්‍රී කල්‍යාණවංශ මහා නිකායේ අනුනායක

නැ‍ඟෙනහිර තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝනායක

සේරුවිල මංගල රජමහා විහාරාධිපති

සේරුවිල සරණකිත්ති අනුනාහිමි

වර්තමාන සමාජයේ පවතින තත්ත්වයන්, අපරාධ බහුලවීම, ජනමාධ්‍ය ක්‍රියාකාරීත්වය සහ භික්ෂුවගේ සමාජගත වීම පිළිබඳ නැ‍‍ඟෙනහිර තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝනායක ශ්‍රී කල්‍යාණවංශ මහානිකායේ අනුනායක සේරුවිල සරණකිත්ති අනුනාහිමියෝ මෙසේ අදහස් දක්වති.

l වර්තමාන සමාජය ආගම ගැන දක්වන උනන්දුව අඩුව ඇතැයි ඔබ වහන්සේ කල්පනා කරනවද?

බුදු දහමට යම් යම් තර්ජන තියෙනවා. එහෙම තියෙද්දිත් සමාජයේ බෞද්ධ ප්‍රබෝධයක් තිබෙන බව පෙනෙනවා. රටේ ජීවනාලිය වගේ ඉන්න තරුණ පිරිස සෑහෙන්න බුදු දහමට නැඹුරුව ඉන්නවා. වෙහෙර විහාරවල නිතරම වාගේ පුද පූජා භාවනා වැඩසටහන් කෙරෙනවා. විශාල වශයෙන් බෞද්ධ පොතපත මුද්‍රණය වෙනවා. ජනමාධ්‍යයන්හි පෝය දිනවල ධර්මය ගැන කතා කෙරෙනවා. මේ විදිහට බැලුවහම ධර්මය ගැන හොඳ උනන්දුව තියෙනව කියල කියන්න පුළුවන්.

l නමුත් ප්‍රතිපත්තියට වඩා ආගම විලාසිතාවක් කරගත් පිරිසක් බිහිවෙලා ඉන්න බවක් පේනවා නේද?

මොනම ආගමක්වත් විලාසිතාවක් ලෙස පිළිපදින්න බෑ. විලාසිතා කියලා හිතාගෙන කරලා තමන්ම විනාශ කර ගැනීමකුයි ඔය හුඟක් අය කර ගන්නේ. මේ සමාජයේ බහුතරයක් ආගම ගැන හොඳ අවබෝධයකින් කටයුතු කරද්දී තවත් පිරිසක් අනවබෝධයෙන් කටයුතු කරන බවක් පේනවා. ඒක ඉතින් කොයි සමාජයෙත් දකින්න තියෙනවා. ජනතාව දැනගන්න ඕනේ ආගමකින් කෙරෙන්නේ මොකක්ද කියලා.

දැන් බලන්න කාමයේ වරදවා හැසිරෙන්න එපා කියලා ආගමේ තියෙනවා කියලා. සමහර කාන්තාවෝ තමන්ගේ ගෙදර මහත්තයාවත් පැත්තකට දානවා. මොකද එතැන අකුසල කර්මයක් වෙනවා කියලා මේ අය හිතනවා.

මේ වගේ අන්තගාමී වීම නිසා හොඳින් තිබෙන පවුල් ජීවිතත් කඩා ඉහිරෙන්න පුළුවන්. මෙහෙම කටයුතු කරන සුළු පිරිසක් රටේ ඉන්නවා. නමුත් බහුතරය බුද්ධිමත් විදිහට ආගමට යොමුවෙලා ඉන්නවා කියලයි පේන්න තියෙන්නේ.

l “ධර්මද්වීපයක්” ලෙස සලකන රටේ උදේ හවස බණ අහනවා. ඒ රටේ අපරාධ වාර්තාවීම නම් අඩුවෙලා තියෙන බවක් පේන්න නැහැ. මේකෙන් පේන්නේ මේ ධර්මය ප්‍රායෝගික වෙලා නැහැ කියල නේද?

නැහැ. ඒක වැරැදියි. ධර්මය අහන පිළිපදින විශාල පිරිසක් මේ රටේ ඉන්නවා. ඒ අයගෙන් අපරාධ වෙන්නේ නෑ. හැබැයි කොච්චර ධර්ම දේශනා කළත්, කොච්චර පැහැදිලි කළත් තේරුම් ගන්න බැරි පිරිසකුත් ඉන්නවා. ඒ අය ගැනයි ඔබ ඔය කියන්නේ. අපරාධ කරන අය බණ අහන්න කැමැති නැහැ. ඒවා ඇහුවොත් ඒ අයට තමන් කරන දේවල් ගැන දෙපාරක් හිතන්න වෙනවා.

ඔය අධර්මිෂ්ඨ පිරිස ඉන්නේ බොහොම සුළු පිරිසක්. බෞද්ධයෝ සීයක් ගත්තොත් පහක් විතර ඔය කාණ්ඩයට අයත් වෙන්නේ. අනික් අනූ පහම හොඳයි.

මම මෙතෙන්දි කියන්න ඕනේ ඔය අපරාධ ඔච්චර උලුප්පලා පෙන්වන්නේ ජනමාධ්‍යයයි. අපේ සාමාන්‍ය කියමනක් තියෙනවා. පොලිසිය, රෝහල, උසාවිය යන ඒවා මිනිස්සුන්ට යන්න තියෙන තැන් නොවේ කියලා. හැබැයි ජනමාධ්‍යකරුවෝ ප්‍රවෘත්ති හොයන්නේම පොලිසියෙන්, උසාවියෙන් නැත්නම් රෝහලෙන්.‍

දැන් පොලිසිය ගන්න. පොලිසියේ තියෙන්නේ අපරාධනේ. ජනමාධ්‍යකරුවෝ උදේම පොලිසියට කතා කරලා අහන්නේ අද මොනවගේ අපරාධයක් ද වෙලා තියෙන්නේ? අද මොකුත් නැද්ද කියලයි. ඊළඟට මොක් හරි තිබුණොත් හොඳට ගළපලා රසකරලා වාර්තා කරනවා හරියට බලාගෙන හිටියා වගේ. හැබැයි මේ අය පන්සලේ කතා කරලා පන්සලේ මොකද වෙන්නේ? දහම් පාසල් ළමයි සිල් ගන්නවා, සාහිත්‍ය උත්සවයක් තියෙනවා. ඒවා ගැන හොයලා බලනවද, නැහැනේ.

පොලිසි ගානේ ගිහිල්ලා රූපවාහිනි නාළිකා, පත්තර අපරාධවලින් පුරෝගන්නව. එතෙන සමාජ පරිහානියක් කියලා පෙන්වන්න බැහැ. එතැන තියෙන්නේ ජනමාධ්‍යයන්ගේ දුර්වලකමක් මිසක් සමාජයේ වරදක් නොවේ. ඔහොම ප්‍රවෘත්ති වාර්තාකරණයෙන් පේන්නේ සමාජ පරිහානියක් නොවේ. ජනමාධ්‍යයේ තියෙන පරිහානියකුයි මේ අය පෙන්‍වන්නේ.

l ඔතෙන්දි ප්‍රේක්ෂකයෝ නැත්නම් ශ්‍රාවකයන්ගේ තත්ත්වය මත නේද ජනමාධ්‍ය පෝෂණය වෙලා තියෙන්නේ?

සාමාන්‍යයෙන් පුංචි දරුවගේ ඉඳන්ම ස්වභාවිකව නරක දේටම තමයි වැඩි නැඹුරුවක් තියෙන්නේ. ඒක ලෝකයේ හැටි. ජනමාධ්‍ය කරන්නේ ඔය රුචිකත්වය තවදුරටත් වැඩිකිරීමක්. කුණු කසළවලට යොමුකිරීමක්. දැන් බලන්න පුංචි ළමයි, මේ ළමයින්ට කාටුන් පෙන්වනවා.

හැම කාටුන් එකකම තියෙන්නේ කෝලහාලයක්, ගැටුමක්. තිරිසන් සත්තු කාටුන් එකකට ගත්තොත් ඒ සත්තුත් ඇණකොටා ගන්නවා. ඉතින් ළමයකුට සතා සිව්පාවා ගැන මෛත්‍රියක්, කරුණාවක් ඇතිවෙයිද? එහෙම ළමයෙක්ගෙන් සෙල්ලම් බඩු මොනවද ඕනේ කියලා ඇහුවම ඉල්ලන්නේ කඩු, පිස්තෝල ආදියනේ. එතැන වරද ළමයගේ නොවේ, ළමයගේ මනසට කුණු දාපු අයගේයි.

ටෙලිනාට්‍යයක් ගත්තොත් පවුල් ප්‍රශ්න, අඹුසැමි ප්‍රශ්න. මිනිස්සු මේවා ඇඟට බද්ධ කරගෙන පැය ගණන් රූපවාහිනිය දිහා බලන් ඉන්නවා. සමහරු අඬනවා. මේ තත්ත්වයන්ගෙන් සමාජය ගලවා ගන්න බැරෑරුම් කාර්යයක් රටේ ජනමාධ්‍යයට තියෙනවා. ඒත් ඒ අය ‍ඒක ගෙනියන්නේම වැරදි දිහාවටයි. අපි මතක තියාගන්න ඕනේ ජනමාධ්‍යයට පුළුවන් රටක් වනසන්නත්, ගොඩනඟන්නත්. ඒ වගකීම ජනමාධ්‍යවේදීන් තේරුම් ගන්න ඕනේ.

l වර්තමාන සමාජයේ ගිහි - පැවිදි සබඳතාව පිළිබඳව ඔබවහන්සේ දකින්නේ කෙසේද?

බෞද්ධ සමාජයේ ගිහි - පැවිදි සම්බන්ධය අතීතයේ ඉතා ඉහළ මට්ටමින් තිබුණා. අද වෙනකොටත් ඒක ආරක්ෂා වෙලා තියෙනවා. ඒත් තවමත් සුළුතරයක් නිසා නොයෙක් ප්‍රශ්න ඇතිවෙලා තියෙනවා. අද හුඟක් අයට හාමුදුරුවෝ මතක් ‍ෙවන්නේ චරිත සහතිකයක් ගන්න, ඊළඟට මරණයට, හත්දවසේ දානයට.

ඒකත් තුන්මාසෙ දානෙන් අමතක කරලා දානවා. අනික ගිහි අයට වඩා පැවිදි අයට තමයි ප්‍රශ්න වැඩිවෙලා තියෙන්නේ. ගිහියන්ට නම් රාජකාරි පැය 8 – 9 ක් කරලා විවේකයක් තියෙනවා. ඒත් පැවිදි අයට එහෙම නැහැ. පැය 24 ම විවිධ රාජකාරි යෙදිලා. අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කරනවට වඩා වැඩි වැඩ කොටසක් භික්ෂුවට පැවරිලා තියෙනවා.

l භික්ෂූන් වහන්සේ වැඩිපුර සමාජගත වීම නිසා ධර්මය - විනය දෙකත් පිරිහිලා තියෙනවා නේද?

මේක අද ඊයේ ඇතිවුණු තත්ත්වයක් ලෙස හුවාදක්වන්න බැහැ. භික්ෂූන් වහන්සේලා අතින් ධර්ම - විනය ගැටුම් ඇතිවුණේ බුදුහාමුදුරුවන්ගේ කාලයේ ඉඳන්. බුදු දහම බොහොම නිදහස් ආගමක්. ඉතින් විවිධ මත දරපු අය ඕකෙ ඉඳලා තියෙනවා. බුදු හාමුදුරුවෝ ශාන්තය.

ආරම්භයේම විනය නීති පැනෙව්වේ නැහැ. ඒත් කාලයක් යද්දි භික්ෂූන් වහන්සේලාගේ ක්‍රියා නිසා බුදුරජාණන් වහන්සේට සිද්ධ වුණා විනය නීති ප්‍රශ්න. ඒ අනුව කරන වැරදි බලලා තමයි විනය නීති පැනෙව්වේ. එහෙම නැතිව බුද්ධාගම නීති දාලා තිබුණේ නැහැ.

කාලයක් යද්දී වරද තේරුම් අරගෙනයි නීති දැම්මේ. විනය පොතේ තියෙන කරුණුයි අද තියෙන කරුණුයි බලපුවාම අද හාමුදුරුවෝ හොඳයි කියලා හිතෙනවා. ඒ තරමට ම සංකීර්ණ තත්ත්වයක් අතීතයෙත් තිබිලා තියෙනවා.

අද සමාජයේ බොහෝ පිරිස් ඉන්නවානේ වරප්‍රසාද බලාගෙන මහණ වෙන. සමහර භික්ෂූන් වහන්සේලා වැරදි කරනවා කියලා චෝදනා කරනවා. ඇත්තෙන්ම මේ අය කවුරුද? කොහොමද මහණ වුණේ? ඇත්තටම මහණ වෙලාද? කියලා හරියට හොයලා බලන්න ඕනේ. එහෙම නැතිව ආවට ගියාට චෝදනා නඟලා හාමුදුරුවෝ වැරදියි කියන්න බැහැ.

මේ සෑම කාරණයකම දෙපැත්තක් තියෙනවා. කෙනෙක් වරදක් කළාට මුළු සමාජයම වැරදියි කියලා කියන එක වැරදියි. නිවැරදි සොයා බැලීමකිනුයි තීරණ ගන්න ඕනේ.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා