මිහින් ලංකා ජනතාවගේ දේශීය ගුවන් සේවයයි

මිහින් ලංකා ජනතාවගේ දේශීය ගුවන් සේවයයි

ලේක්හවුස් - මිහින්ලංකා දඹදිව වාසනා කූපන්පත් තරඟාවලියේ ජයග්‍රාහකයන් අමතමින් රාජ්‍ය පොදු කටයුතු කළමනාකාර ගාමිණී අබේවර්ධන කියයි මිහින් ලංකා ගුවන් සේවය ශ්‍රී ලාංකික ජනතාව අතර දේශීය ගුවන් සේවයක් බවට පත්ව ඇතැයි මිහින් ලංකා ආයතනයේ රාජ්‍ය පොදු කටයුතු කළමනාකාර ගාමිණී අබේවර්ධන මහතා පැවැසීය.

මිහින් ලංකා ගුවන් සේවාව මඟින් ක්‍රියාත්මක කරන දඹදිව වාසනා කූපන්පත් තරඟාවලිය ජනතාව අතර ප්‍රචලිත වූ බවත් එම තරඟාවලියේ ජයග්‍රාහකයන්ට දඹදිව චාරිකා ලබා දීමේ වැඩපිළිවෙළ සාර්ථක අන්දමින් ක්‍රියාත්මක වූ බවත් ඒ මහතා කීය.

දඹදිව චාරිකා වාසනා තරගයේ ජයග්‍රාහකයන්ගෙන් දෙදෙනෙකු ගුවන් ප්‍රවේශපත් ලබා ගැනීමේ අවස්ථාව. මිහින් ලංකා ආයතනයේ රාජ්‍ය පොදු කටයුතු කළමනාකාර ගාමිණී අබේවර්ධන, ලේක්හවුස් ආයත‍නයේ කර්තෘමණ්ඩල අධ්‍යක්ෂ සීලරත්න සෙනරත් යන මහත්වරු ද මෙහි වෙති. ඡායාරූප-රොෂන් පිටිපන ‍

ලේක්හවුස් ආයතනය එම තරගාවලිය පැවැත්වීම සඳහා දිනමිණ, සිළුමිණ සහ බුදුසරණ වැනි ජාතික පුවත්පත්වල කූපන් පළ කරවීමෙන් එම තරගාවලියට ජනතාව සහභාගී කරවා ගැනීමට සුවිශාල සහයෝගයක් අත් කර දුන් බවත් හෙතෙම පැවැසීය.

දඹදිව චාරිකා වාසනා තරගයේ ජයග්‍රාහකයන්ගෙන් දෙදෙනෙකු ගුවන් ප්‍රවේශපත් ලබා ගැනීම වෙනුවෙන් මිහින් ලංකා කාර්යාලයේ දී පැවැති උත්සව අවස්ථාවක දී ඒ මහතා මේ අදහස් පළ ‍කළේ ය.

ලේක්හවුස් ආයතනය සිය උපරිම සහ‍යෝගයක් මිහින් ලංකා ආයතනයට ලබා දෙමින් සිදු කළ සේවාව ඒ මහතාගේ ඇගයීමට ලක් විය.

ජයග්‍රාහකයන් වූ දෙහිවල ප්‍රදේශයේ පදිංචි කේ.ඩී.ප්‍රනාන්දු, මට්ටක්කුලියේ පදිංචි ඩී.එම්.උපාලි යන මහත්වරුන් මෙදින සිය ගුවන් ප්‍රවේශපත් ලබා ගත්‍හ.

ඒ මහතා මෙසේ ද කීය,

අද මිහින් ලංකා ගුවන් සේවය ශ්‍රී ලාංකීය ගැමි ජනතාව අතර ප්‍රචලිත වී තිබෙනවා. දඹදිව වන්දනා සඳහා සිය ආයතනය අවස්ථාව සළසා දීම එයට ප්‍රධානම හේතුවක් ‍වී තිබෙනවා.

විශේෂයෙන්ම මිහින් ලංකා ගුවන් සේවාව වඩාත් ජනප්‍රිය වී තිබෙන්නේ, ආගන්තුක සත්කාර, කාරුණික සේවාව, ප්‍රනීත ආහාර පාන සහ ගුවන් යානා යහපත් මට්ටමක පැවතීම යන කාරණා නිසා. ඉදිරියේ දී එම සේවාවන් තවත් පුළුල් කිරීමට කටයුතු කෙරෙනු ඇති බවත් හෙතෙම කීය.

මෙහි දී අදහස් පළ කළ ලේක්හවුස් ආයත‍නයේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සීලරත්න සෙනරත් මහතා,

සීමාසහිත එක්සත් ප්‍රවෘත්තිපත්‍ර සමාගම සාමාන්‍යයෙන් පෙනී සිටි‍න්නේ මෙරට ජනතාවගේ ජීවන සුභ සිද්ධිය වෙනුවෙන්මයි. ලාභ ලැබීමට වඩා අප ආයතනය බලාපොරොත්තු වන්නේ ගුණාත්මක දේවල් ජනතාවට ලබා ‍දීමයි. එය අපේ මුඛ්‍ය පරමාර්ථයයි.

ඒ සමගම අප දෙව්න්දර තුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා ජීවත්නක විශාල පාඨක පිරිසක් අපවටා ඒකරාශී වීම සතුටට කාරණාවක්. අන්තර්ජාලය ඔස්සේ ලෝකයේ රටවල් 50 කට අධික පාඨක සංඛ්‍යාවක් අප වෙත ඒකරාශී වී ඇති බව අන්තර්ජාල තොරතුරු සහ දත්ත හරහා ලැබී තිබෙනවා.

මිහින් ලංකා ගුවන් සේවය මඟින් මෙරට ජනතාව වෙනුවෙන් ලබා දෙන සහනශීලී සේවා සඳහා අප ඉදිරියේදීත් උපරිම සේවාවක් ලබා දීමට අදහස් කරනවා. ජයග්‍රාහකයෙකු වු කේ.ඩී.ප්‍රනාන්දු මහතා එම අවස්ථාවේ දී මෙසේ සිය අදහස් පළ කළේ ය.

මම දිනමිණ පුවත්පතේ පළ වූ කූපන්පත පුරවා කපා තැපැල් පතක අලවා තැපැල් කළා. ඉන් පසුව මම ඔස්ට්‍රේලියාව බලා පිටත් වුණා. මා දඹදිව චාරිකා සඳහා තෝරාගෙන ඇති බව අපේ නිවසට මිහින් ලංකා ආයතනය දැනුම් දී තිබුණා.

නිවැසියන් මට ඒ බව කියද්දී මම පුදුමයට පත් වුණා. එය අදහාගත නොහැකි වුණා. මම කවදත් දිනමිණ පාඨකයෙක් නිසා මට මේ අවස්ථාව ලැබුණු බව මා විශ්වාස කරනවා. මිහින් ලංකා අළෙවි අංශ ප්‍රධානී අසංක ප්‍රනාන්දු, විකුණුම් කළමනාකරු ජූඩ් රූපසිංහ මහතා ප්‍රමුඛ පිරිසක් ද මේ අවස්ථාවට සහභාගී වී සිටියහ.

 

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා