දිසා තුනේ යටිතල පහසුකම් නංවන්න රු. කෝටි 5000ක්

දිසා තුනේ යටිතල පහසුකම් නංවන්න රු. කෝටි 5000ක්

කුරුණෑගලට කෝටි 2000යි; පුත්තලමට  1000යි; කෑගල්ලට 2000යි

මාර්ග-විදුලිය-පානීය ජලය-නිවාස මුල්තැන

දිස්ත්‍රික්ක තුනේ ලක්ෂ 33ක ජනතාවට ප්‍රතිලාභ

ජනතාව ළඟටම ගොස් ඔවුන්ගේ ගැටලුවලට විසඳුම්

අටවැනි දැයට කිරුළින් පිබිදුණු කුරුණෑගල, පුත්තලම සහ කෑගල්ල දිස්ත්‍රික්ක තුනේ පොදු යටිතල පහසුකම් නැංවීමට රජය රුපියල් මිලියන පනස්දහසකට අධික මුදලක් වැය කළ බව විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා “දිනමිණ”ට ප්‍රකාශ කෙළේය.

මංමාවත්, විදුලිබල, පානීය ජලය, නිවාස, අධ්‍යාපන, සෞඛ්‍ය හා අනෙකුත් ආර්ථික හා මහජන උපයෝගිතා පහසුකම් නැංවීමට මේසා විශාල මුදලක් වයඹ පළාතටත්, කෑගල්ල දිස්ත්‍රික්කයටත් වැය කළේ ඉතිහාසයේ පළමු වතාවට බව ද ඇමැතිවරයා කීය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය නිසා මේසා විශාල මුදලක් වැය කර කුරුණෑගල, පුත්තලම හා කෑගල්ල දිස්ත්‍රික්කවල ජීවත්වෙන ලක්ෂ 33ට ආසන්න මහජනතාවට මින් ප්‍රතිලාභ හිමිවී තිබේ. කුරුණෑගල දිස්ත්‍රික්කයේ සංවර්ධනයට රුපියල් මිලියන 20,000 ක්, පුත්තලමට රුපියල් මිලියන 10,000ක් සහ කෑගල්ලට රුපියල් 20,000ක් ලෙස මේ මුදල් ලබාදුන් බවද ඇමැතිවරයා කියා සිටියේය.

ජනතාවට ඍජුවම ප්‍රතිලාභ හිමිවන ජනතා සහභාගීත්ව සංවර්ධනයක් ඉටුකිරීමට පියවර ගන්නැයි ජනාධිපතිතුමා උපදෙස් දුන් බවත්, ඒ අනුව කුරුණෑගල, පුත්තලම හා කෑගල්ල දිස්ත්‍රික්කයේ සෑම ‍ෙගයක්ම, පුද්ගලයෙක්ම වෙත ගොස් ගැටලු ලබාගෙන ඒවාට විසඳුම් ලබාදීමට කටයුතු කළ බවත් ඇමැතිවරයා කීය.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ඨාස 14හි, ග්‍රාම නිලධාරී වසම් 1610ක, පුත්තලම දිසාවේ මැතිවරණ කොට්ඨාස 05, ග්‍රාම නිලධාරි වසම් 548ක, කෑගල්ල මැතිවරණ කොට්ඨාස 09, ග්‍රාම නිලධාරි වසම් 573ම ආවරණය වන පරිදි ජංගම සේවා 2731ක් පවත්වා ඇත. මේ සඳහා ජනතා ප්‍රශ්න ලක්ෂ 11 ½ ක් ඉදිරිපත්වී ඇත. ඒවායින් සියයට 80කටම ඒ දිනවලදීම විසඳුම් ලබාදුන් බව ඇමැතිවරයා සඳහන් කෙළේය.

ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ විශේෂ උපදෙස් මත මේ ජංගම සේවා වැඩසටහන සංවිධානය කළ බවද කී ඇමැතිවරයා, මේවායේ සාර්ථකත්වය නිසාම මේ වසරේ දී දිස්ත්‍රික්ක 17ක මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට දැනටමත් තීරණය කොට ඇතැයි විදුලිසංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍යංශයේ ලේකම් එස්. එම්. ගෝඨාභය ජයරත්න මහතා පැවැසීය.

දැයටකිරුළ කුලියාපිටිය අධ්‍යාපන කේන්ද්‍රිය මධ්‍යස්ථාන තුනක පැවැත්වීම නිසා ඒවායේ දියුණුවට රුපියල් මිලියන දහසකට වඩා මුදලක් වැයකොට සම්පත් ලැබුණු බව කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් එච්. එම්. පී. හිටිසේකර මහතා ප්‍රකාශ කෙළේය. කුලියාපිටියේදී අද (21) සවස 5.00 ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කැරෙන අටවැනි දැයට කිරුළ ජාතික සංවර්ධන ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත මහජනතාවට අවශ්‍ය සියලු පහසුකම් සම්පාදනය කොට ඇති බව ප්‍රදර්ශන කමිටුව ප්‍රකාශ කරයි.

අද සිට මෙමස 27 වැනිදා දක්වා ප්‍රදර්ශනය කුලියාපිටිය පිහිටි වයඹ විශ්වවිද්‍යාලය, කාර්මික විදුහල හා කුලියාපිටිය මධ්‍ය මහා විදුහලේ අක්කර 162ක බිමක් පුරා මේ ප්‍රදර්ශනය පැවැත්වේ. රාජ්‍ය හා පෞද්ගලික දෙඅංශයේ ප්‍රදර්ශන කුටි පන්සීයකට ආසන්න ප්‍රමාණයක් මීට එක්කොට ඇත.

මහින්ද චින්තනය, මහින්ද චින්තන ඉදිරි දැක්මේ සඳහන් ආකාරයට ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්යමත් රට බවට පත් කරන වැඩපිළිවෙළ මැනවින් විදහා දක්වන ලෙස මේ ප්‍රදර්ශනය සංවිධානය කොට ඇතැයි ප්‍රකාශ කෙළේය.

ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන ජනතාවට අවශ්‍ය ආරක්ෂාව, ආහාරපාන, සෞඛ්‍ය ආරක්ෂිත සනීපාරක්ෂක සේවා, පිරිසිදු පානීය ජලය, විදුලිය, ප්‍රවාහන පහසුකම් මනාව සංවිධානය කොට ඇතැයිද ඇමැතිවරයා කීය.

පාසල් නිල ඇඳුමින් සැරසී ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන දරුදැරියන්ගෙන්, ගුරුභවතුන්, විදුහල්පතිවරුන් ප්‍රධාන පිරිසගෙන් ඇතුල්වීමට මුදල් අය නොකෙරේ. සෑම පුද්ගලයෙක්ම රුපියල් මිලියනයක උපරිමයකට යටත්ව නොමිලේ ‍රක්ෂණාවරණයකට හිමිකම් කියන බවද ඇමැතිවරයා කීය.

දැයට කිරුළ නැරඹීමට පැමිණෙන පිරිසට දැනුම, විනෝදය මෙන්ම භාණ්ඩ අඩුමිලට මිලදී ගැනීමට ද පහසුකම් සපයා ඇත.

ප්‍රදර්ශනය පැවැත්වෙන දින 7 පුරාම රාත්‍රී සංගීත සංදර්ශන, පාසල් හා කලායතනවල දරුවන්ගේ සංස්කෘතික එළිදැක්වීම්, චිත්‍ර, රචනා, කවි ගායනාවලට ඉඩ, පැරිෂුට් සංදර්ශන, මල්වෙඩි සංදර්ශන, යුද, නාවික, ගුවන්, පොලිස්, සිවිල් ආරක්ෂක සේවා සංදර්ශන සහ තවත් ක්‍රියාකාරකම් රාශියක් මෙහිදී දැකබලා ගැනීමට ජනතාවට පහසුකම් සලසා දී ඇත.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා