මනුස්සකම තිබුණාට එය අයුතු ලෙස  පාවිච්චි කරන්න හදන්න එපා

මනුස්සකම තිබුණාට එය අයුතු ලෙස  පාවිච්චි කරන්න හදන්න එපා

 වයඹ ප්‍රධාන ඇමැති නීතිඥ දයාසිරි ජයසේකර කියයි

මනුස්සකම තිබුණා කියලා ඒ මනුස්සකම අයුතු ලෙස පාවිච්චි කරන්න හදන්න එපා යැයි ද, මම තාම කෝටුව අතට ගත්තේ නැති බවත්, කෝටුව අතට ගත්තට පස්සේ ලොකු ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිදුවන බවත් අපිට ඕනේ වැඩ කරන මිනිසුන් බවත් වයඹ ප්‍රධාන ඇමැති දයාසිරි ජයසේකර මහතා පැවසීය.

ඇමැතිවරයා එසේ පැවසුවේ පසුගියදා කුරුණෑගල යන්ත්‍රෝපකරණ අධිකාරියේ සේවා ස්ථානයක් ආරම්භ කිරීම සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවට සහභාගී වෙමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමැතිවරයා මෙසේද කීය.

මම වයඹ ප්‍රධාන ඇමැතිවරයා ලෙස පත්වීමට පෙරම දැක්කා යන්ත්‍රෝපකරණ දෙපාර්තමේන්තුවේ වාහන සම්බන්ධව සහ ආයතනය කඩා වැටීමට යන බව පත්තර වල පළවී තිබුණා. ඉතින් ඡන්දෙට පෙර මෙහි නිලධාරීන් මාත් එක්ක කතා කළා. අපි අද විශේෂ වැඩපිළිවෙළක් පටන් අරගෙන තියෙනවා. මේ අයාතනය නැවත ඉස්සරහට ගෙනියන්න. මේවා අපේ ජාතික සම්පත්. මෙතන කෙනෙක් මට උදේත් කතා කරලා ඇහුවා මේ සර්විස් සෙන්ටර් එක හදන එකෙන් ප්‍රශ්නයක් වෙයිද කියලා. මම කිව්වේ තරඟයක් තියනකොට තමාගේ දේවල් දියුණු කරගන්න පුළුවන්. අපි යන්ත්‍රෝපකරණ අධිකාරිය ශක්තිමත්ව ගොඩ නඟනවා. ඔබතුමාලා හරියට වැඩ කරන්න. ඉතින් අපි මූලික අවශ්‍යතා ටික ලබාදීලා තියෙනවා. අපි කැබිනට් මණ්ඩලය හරහා තීරණයක් ගත්තා අපේ පළාත් සභාවේ තියන සෑම වාහනයක්ම අලුත්වැඩියා කරන්න. ඇමැති මණ්ඩලයෙනුත් අහපු දෙයක් තමයි මේ ආයතනයෙන් වැඩක් කරගන්න බොහොම අමාරුයි කියලා. මේක රාජ්‍ය ආයතනයක් නිසා මේ වැඩ ටික හරියට යොදවන්න අපි කටයුතු කරන්න ඕනේ. දැන් හැමතැනම වැව් කැපෙනවා. ඉස්සර තමුන්නාන්සේලා මේ දිස්ත්‍රික්කයේ විතරක් නෙමෙයි පිට ගිහිල්ලත් වැඩ කළා. දැන් අපි බස්නාහිර පළාතේ මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිතුමත් එක්ක කතා කරලා වැඩ කීපයක් ගත්තා.

මේ අවුරුද්දේ මිලියන 6294 ක් අපිට තියනවා. සෑම ආසනයකටම අපිට මුදල් ලැබිලා තියනවා. ඉතින් තමුන්නාන්සේලාගේ ශක්තිය අපිට ගන්න පුළුවන්. මට වුවමනා වෙලා තියෙන්නේ අලුත් දේවල් තමුන්නාන්සේලා අතින් නිර්මාණය වෙන්න. හරිහමන් විදියට මේක ශක්තිමත්ව ගොඩනැගුවොත් පළවැනි ස්ථානය මේ පළාතට ගන්න පුළුවන්. අවශ්‍ය වෙන්නේ දැනුමත් එය හරියට භාවිතා කැර වැඩේ හරියට කිරීමටයි.

මේ ක්‍රමය මෙතනින් එහාට ගෙනියන්න පුළුවන් වෙන්නේ ඔබතුමාලට. රාජ්‍ය ආයතනවල වැඩේ හරියට වෙන්නේ නැත්නම් එව්වා කඩා වැටිලා කියලා කිව්වට වැඩක් නෑ. පෞද්ගලික අංශයට යන්නේ නැතුව ගොඩක් අය රාජ්‍ය ආයතනවලට ගියාට ගිහින් බලපුවාම වැඩක් වෙන්නේ නෑ. මට ඕනේ රාජ්‍ය ආයතන වැඩ කරන්න පුළුවන් කියන තැන ඉඳලා වැඩ කරන්න. මම ඒ හයිය තමුන්නාන්සේලාට දෙනවා. ඒ වගකීම මම බාරගන්නවා. රාජකාරිය හරියට කරන්න.

ආයතනයකින් වාහනයක් ආපුවාම ඒ ආයතනයෙන් තවත් වාහන දහයක් එන විදියට වැඩේ කරලා දෙන්න. කුලියාපිටියේ එක පාසලකට ගියාම ළමයි 59ක් පැදුරු එලාගෙන බිම ඉන්නේ. අපිට මෙව්වා ගැන ලැජ්ජයි. ඉතින් අපි දවසක් ඇතුළත පුටු ටික හදලා දුන්නා.

ඉතින් එව්වා කරන්න වෙන්නේ හරියට වැඩේ කරනකොට. ඒත් ඒකේ විස්තර අපි ගාව තාම නෑ. ඒකත් ඇදෙනවා. මෙහෙම වැඩ කරන්න බෑ. මේ ආයතනයට මිලියන ගණනක මුදල ලැබෙන්නේ බැංකුවකින්. මිනිස්සු අපිට බලයක් දුන්නේ වැඩ කරන්න. වැඩ කරන්න බැරි නම් මම යනවා. ඒ සඳහා අපි සියලු දෙනාම කැප වෙලා වැඩ කරමු.

මෙම අවස්ථාවට ප්‍රධාන අමාත්‍යාංශ ලේකම් එම්.පී. සිරිසේන ප්‍රධාන අමාත්‍යතුමාගේ මාධ්‍ය ලේකම් ප්‍රසන්න අධිකාරී, පළාත් පාලන කොමසාරිස් බුවනෙක හේරත්, මානව සම්පත් අධිකාරියේ සභාපති රෝයි විජේසිංහ සහ විධායක අධ්‍යක්ෂ ටී. අධිකාරී යන මහත්වරු සහභාගී වූහ.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා