යුද්ධය දිනා රටට සාමය ගෙනා නායකයා එළවන්න පිරිසක් උත්සාහ කරනවා

යුද්ධය දිනා රටට සාමය ගෙනා නායකයා එළවන්න පිරිසක් උත්සාහ කරනවා

නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි

යුද්ධය දිනා රටට සාමය උදාකළ අභිමානවත් නායකත්වය පිළිගන්නවා වෙනුවට එම නායකයා එළවන්න පුළුවන්ද කියා විවිධ කණ්ඩායම් මාන බලන යුගයක අපට මේ පළාත් සභා ජයග්‍රහණය වැදගත් වෙන්නේ; ජනතාව අතරින් මතුවී අභිමානවත් ලෙස ත්‍රස්තවාදය අතුගා දමන්නට ඔබ කළ සේවය කොතරම් වැදගත්ද? එපමණටම එම ශ්‍රේෂ්ඨ නායකත්වය රැකගන්න අප සැවොම සූදානම්ය, කියන පණිවුඩය ලොවටම කියන්න හැකි මැතිවරණය මෙය බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි මහතා පැවැසීය.

ඒ මහතා එසේ කීවේ මෙවර බස්නාහිර පළාත් සභාවට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග වදින කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ධුරාපේක්ෂිකා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවියට සහයෝගය දැක්වීම සඳහා කොටිකාවත්ත ලියන්කි හෝටලයේ පැවැති ජනහමුවකට සහභාගීව කරන ලද කතාවේදීය.

ඒ මහතා මෙසේද කීවේය. අපිට මේ මැතිවරණයේදී දකුණේ ගේමක් නැහැ. මැච් එක දිනලා. ඒකයි අපි එහෙත් බැට් කරලා මෙහෙත් බැට් කරන්න එන්නේ කොළඹට එන්න සුළු වෙලාවයි යන්නේ. එදා මාතර ඉඳලා මෙහාට එනවා නම් හාල් පොල් කරගහගෙන එන්න ඕනෙ. අද වෙනස එහෙමයි. ඒකයි ආශ්චර්ය කියන්නේ.

මෙවර දකු‍ණ බස්නාහිර පළාත් සභාවල ඡන්දය කියන්නේ අපි බලයට පත්වෙලා අවුරුදු 20ක් පිරෙන තැනයි. එදා මේ කොළොන්නාව මැතිවරණ තියන්න නිදහස තිබුණු ප්‍රදේශයක් නොවෙයි. මල්ලිමාරච්චිගේ හිංසාකාරී පාලනයට මුහුණ දුන්නේ අභීතවත් නායකයෙක් වුණ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රයි. ඔහු ඉටුකළ එම මෙහෙය ගැන දැනුවත් වූ සියලු දෙනා ඔහුගේ ගුණ සිහිපත් කරනවා. ජනපතිගේ සෙවණැල්ල වගේ රට බේරා ගන්න ශ්‍රේෂ්ඨ නායකයෙකු ගොඩනගන්න ඒ වෙනුවෙන් කැප වූ “භාරත” අවාසනාවන්ත ලෙස අපට නැතිවුණාට අද එතුමාගේ දියණිය හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය පියා වෙනුවෙන් මෙවර කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කරන්න ජනාධිපතිතුමාගේ ආශීර්වාදය මැද ඇවිත් තිබෙනවා.

යුක්තිගරුක, එඩිතර, දේශපාලනය ගැන කැක්කුමක් තිබෙන තරුණ තරුණියන් අවශ්‍ය කාන්තා නියෝජනය ගැන හැම තැනම කතා කරන අවදියක මෙවර මැතිවරණයට ඉදිරිපත්ව සිටින කාන්තාවන් අතර ඉහළින්ම දිනන තරුණිය තමයි මේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය ඇය මෙවර පළාත් සභා මැතිවරණය දිනන්නේ 93දී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය තැබූ වාර්තාවද කඩා දමමිනුයි.

නියෝජ්‍ය ඇමැති එම්.කේ. ඩී.එස්. ගුණවර්ධන මහතා-මමත් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාත් ක්‍රියා කළේ නිවුන් සහෝදරයින් වගෙයි. එතුමාගේ මරණයෙන් මහපාරේ ගලා ගියේ රතුදිය දහරා නොවෙයි, නිල්වන් දියදහරාවයි තිබුණේ. මිනිස් දම්වැල් උද්ඝෝෂණ, රිය පෙරහැරවල ගිය ලක්ෂ සංඛ්‍යාත ජනතාව අදත් ශ්‍රී ල නි ප යේ ඉන්නවා. රට බේරාගත් නායකයාට ගෞරවයක් ලෙස භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය අද එතුමාගේ ධජය ගෙන යන්න ක්‍රියා කිරීම අපට සතුටකි.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය- මම අද තමයි කොළොන්නාවේ මගේ සටන ආරම්භ කළේ. මොන මොන ප්‍රශ්ණ තිබුණත් මම දන්නවා මැරිච්ච ලකී අය්යා මෙන් එම මරණය අමරණීය කරන්න එදා තාත්තා සමග හිටපු පිරිස එකාවගේ එකතුවන බව. අද එය මේ ජන ගංගාව සනාථ කර තිබෙනවා.

මෙතැන මගේ තාත්තා සමඟ හිටපු අය ඇති. වෙනත් දේශපාලන පක්ෂවල අයත් ඇති. අද කොළොන්නාව ආසනයට වෙලා තිබෙන තත්ත්වය කවුරුත් දන්නවා. නොයෙකුත් දේට රැවටිලා ඡන්දය දීපු අයත් මේ අතර ඇති. සමහරුන් ඒ අයව ගෙදර යවලා හොඳ පිරිසක් පත්කර ගන්නත් ඇඟිලි ගැන ගැනයි ඉන්නේ.

ඡන්දය දීමේ අයිතිය මුදලට ගන්න මා සූදානම් නැහැ. ඕනෑම අයෙක් මොනව හරි දෙනවානම් ඒවා පරිහරණය කරලා උයාගෙන කාලා ලබන 29දාට මගේ අංක 41ටත් බුලත් කොළයටත් කතිරය ගසන ගමන් තවත් හොඳ පිරිසකුත් පළාත් සභාවට තෝරා යවන්න. මගේ වැඩිහිටියන් කවුරුත් මට කතා කරන්නේ දුව කියලයි. මාව මගේ ගෙදරට ඇවිත් ඔඩොක්කුවේ තබාගෙන නලවපු අයත් හදාපු වඩාපු අයත් ඔක්කොම එකතුවෙලා ලකී අය්යාට වූ අසාධාරණයට සාධාරණය ඉටුකරගෙන කොළොන්නාව ආසනය ගොඩනගමු. මා මොන තත්ත්වයකට ගියත් ඔබ සමඟයි. භාරතට වැඩ කරනවා කියා සිතා ගෙන මට වැඩ කරන්න. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවියගේ මැතිවරණ උපදේශක සීලරත්න සෙනරත් මහතාද මෙහිදී අදහස් පලකළ අතර, කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභා සභාපති ප්‍රසන්න ගුණසිංහ සෝලංගආරච්චි හා හිටපු කොළඹ නාගරික මන්ත්‍රී ගාමිණී රම්‍යකුමාර, තිලක් හිත්තැටිය හා විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමයේ සභාපති යුක්ති ඒකවීර මහත්වරුද මෙහිදී අදහස් දැක්වූ අතර ජනාධිපති උපදේශක සුමණා ප්‍රේමචන්ද්‍ර මහත්මියද මෙම අවස්ථාවට සහභාගි වූවාය.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා