මවුබිම වෙනුවෙන් රටේ දියුණුව ගැන සිතා බුද්ධිමත්ව ඡන්දය භාවිත කරන්න

මවුබිම වෙනුවෙන් රටේ දියුණුව ගැන සිතා බුද්ධිමත්ව ඡන්දය භාවිත කරන්න

- ඇමැති රාජිත සේනාරත්න

රටේ දියුණුව ගැන සිතා ජාති ආගම් කුල පක්ෂ භේද අමතක කර මව්බිම වෙනුවෙන් තමන්ගේ වටිනා ඡන්දය බුද්ධිමත්ව භාවිතා කරන්නැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා කීය.

තමන් කිසිදින ජාතිවාදයෙන් ඡන්දය රැස්නොකළ බවත් එවැනි පහත් ආශාවන් තමන් සතු නොවන බවත් ඇමැතිවරයා කීය.

ඇමැතිවරයා මේ බව පැවසුවේ පසුගියදා බේරුවල නගරසභා ශාලාවේ පැවැති බේරුවල ආසනයේ මැතිවරණ බල මණ්ඩල රැස්වීමේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වෙමිනි.

මෙවර බස්නාහිර පළාත් සභාවට කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල ආසනය නියෝජනය කරමින් ඉදිරිපත් කර සිටින අපේක්ෂකයින් වන ප්‍රසන්න සංජීව, එම්. අම්ජාඩ් හා පියල් නිශාන්ත මහත්වරුන්ගේ ජයග්‍රහණය පතා මෙම රැස්වීම පැවැත්වුණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කතා කළ අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා මෙසේද පැවැසීය.

“අපි අද යුද්ධයෙන් නිදහස් වෙලා බොහොම සාමකාමීව බයක් සැකක් නැතුව ජීවත් වෙනවා වගේම අපේ පළාත්වලට විශාල සංවර්ධනයක් මේ කාලයේ සිදුවෙලා තියෙනවා. ඒ සංවර්ධනය තමයි ‍මම උපරිමයෙන් මේ ආසනයට ගෙනාවේ. මගේ අමාත්‍යාංශයේ සල්ලිත් මම මේ ආසනයට ගෙනාවා. මම සල්ලි විතරක් නෙවෙයි රැකියාවනුත් ගෙනාවා. ඔබගේ දරු දැරියන් 700කට ආසන්න පිරිසක් මගේ ආයතනවල, අනිකුත් අමාත්‍යාංශවල වැඩ කරනවා. රාජ්‍ය පරිපාලන, සෞඛ්‍ය, අධ්‍යාපන අමාත්‍යාංශවල ඒ අය වැඩ කරනවා. ඒ හැම කෙනාටම රැකියාවන් දුන්නේ වැඩ කරපු කට්ටිය බලලා. මම මගේ නැදැයින්ට රැකියාවන් දුන්නේ නැහැ. ඒවගේම තමයි මේ සැරේ මැතිවරණ ආවාම මගේ දිස්ත්‍රික්කයේ හැම තැනම මගේ හැම රැස්වීමක්ම කතා කළේ මගේ පුතා. මගේ පුතා ඕපපාතික කෙනෙක් නෙවෙයි. ඔහු කුඩා කාලයේ ඉඳලාම දේශපාලනයෙන් ජීවත් වූ කෙනෙක්. මම 1987 විජය කුමාරතුංගගේ පළමු රැස්වීමේ මූලාසනය දැරුවාම, අන්තිමට ඒකේ පොස්ටර් එක ඉතිරි වෙලා තිබුණේ මගේ පුතාගේ අතේ. එතකොට එයාට වයස අවු. 5යි. එදා ඉඳලා අද වෙනතුරු දේශපාලනය කියවලා, හදාරලා එයා වෛද්‍ය විද්‍යාලයට ගියාට පස්සේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයට ගියා. එයා හැදැරුවේ ජාත්‍යන්තර දේශපාලන පිළිබඳ පශ්චාද් ඩිප්ලෝමාවක්. ඒ හැම තැනකදී හැමෝම ඇහුවා පුතාව දේශපාලනයට දානවා නේද කියලා.

මාධ්‍යවේදින් මට කීවා උගත් කෙනෙක් අපිට ඕන නිසයි අපි ඔබතුමාට දුන්නේ. දැන් පුතාව අපට දෙන්න කියලා. මම ඒ හැමෝටම කීවා මේක දිගටම රෝගයක් වගේ යනවා දරුවෝ දාන එක. ඒ රෝගය ව්‍යාප්ත කරන්න මට ඕන වුණේ නැහැ. ඒ නිසා මගේ පුතා වෙනුවට ගමේ පුතෙක් දැම්මා. ඒ අනුව තමයි මම ප්‍රසන්නව දැම්මේ.

මම කවදාවත් ජාතිවාදයෙන් සල්ලි හම්බ කළේ නැහැ. ආගම්වාදයෙන්, කුලවාදයෙන් ඡන්ද හම්බ කළේ නැහැ. මම කවදාවත් මගේ කුලය කථා කරල ඡන්ද ගත්තේ නැහැ. අපි කවදාවත් රට කොටවලා, බෙදලා ඒකෙන් ඡන්දයෙන් ජයගන්න කාලකන්නි ආසාවක් නැහැ. ඒ රට විනාශ කරල ඡන්ද මෙච්චරයි, මනාප මෙච්චරයි කියන්න ආසාවක් නැහැ. අපි දේශපාලනයට ආවේ මේ මුකුත් නිසා නෙවෙයි. ශිෂ්‍ය කාලේ යන්තම් දේශපාලනය දැ‍නගෙන, විශ්ව විද්‍යාලයට ගිහින්, සමාජවාදය, කොමියුනිස්ට්වාදය හදාරලා, හොඳට කියවලා අද ඕනෑම මාක්ස්වාදියෙක් එක්ක එකට හිටගෙන කථා කරන්න පුළුවන්. ඒ විදියට කියවලා අපි සමාජය වෙනස් කරන්න ආපු අය.

රු. 5000 දුන්නාම කාර්යාලයක් ගහනවා. මම නම් කියන්නේ ගහන්න. කාර්යාලය ගහලා සුමානයක් ගියාම අපේ එකක් ගහන්න. ඒ පර්මිට් එකෙන්ම. එච්චරයි කියන්නේ. ඒ නිසා ඒ සල්ලිවලට යටවෙන්න එපා. එහෙම ඔබ සල්ලිවලට යටවෙනවා නම් අපිටත් පුළුවන් සල්ලිවලට යටවෙන්න.

පුරන් අප්පු කීවා මගේ අම්මා මම වගේ තව කෙනෙක් හැදුවා නම් සුද්දන්ට වෙන දේ බලාගන්න පුළුවන් කියලා. ඒවගේම ඇහැලේපොල සෙනවියා මාරුණේ, දළදා වහන්සේ දිහා බලාගෙන කීවා මට එක සුද්දෙක්ව මරාගන්න බැරිවුණා ඒ නිසා මගේ මාතෘභූමියට මට කළ හැකි දෙයක් තිබුණේ නැහැ. මගේ මාතෘභූමියට මම බරක් වුණා පමණයි. මාව මැරුවට පස්සේ වදකය කෑලි කෑලිවලට කපලා බල්ලන්ටයි, කපුටන්ටයි මගේ මිනිය කන්න දායපියව් කීවා. එහෙව් රටක අපි ඉපදිලා මැරෙන්නේ. අන්න එය හොඳට හිතා ගන්න දේශපාලනයේදී කුපාඩිකම්, බලුවැඩ කරන්න එපා, දේශපාලනය සල්ලිවලට තනතුරු යට කරන්න එපා.

ලෝකයේ පිළිගත්ත න්‍යායක් තියෙනවා. එයින් මිදෙන්න බැහැ. අපේ රටට කියල වෙනම න්‍යායක් හදාගන්න බැහැ. එහෙම කඩලා දිනපු රටක් නැහැ. සයිප්‍රසය කැඩුවා එක්සත් ජාතීන්ගේ සංවිධානය. කඩනකොට කාටවත් බැරිවුණා බේරගන්න. කොසෝවෝ කැඩුවා දෙකට. කරන්න දෙයක් නැති වුණා. ඒ තත්ත්වයට මේවා එන්න ඉස්සර බේරගන්න ඕනා. ජාත්‍යන්තරයෙන් තීන්දු අරගෙන මේ රටේ තීන්දු ගන්න තත්ත්වයෙන් මේ රට ආරක්ෂා කරගන්න ඕනා. එය තමයි මාතෘ භූමියේ මේ යුගයේ තියෙන ශ්‍රේෂ්ඨතම කාර්යභාරය.

එදා කොටින්ගෙන් මේ රට ජනාධිපතිතුමා බේරගත්ත වගේ. ජාත්‍යන්තරය තුළ මේ රට බේරාගැනීමේ අවස්ථාව උදාවෙලා තියෙනවා. එය පපුවෙන් බැහැ මොලෙන් තීන්දු ගන්න ඕනෑ‍ එතන වැඩ කරන්නේ මොල විතරයි. පපු නැහැ ඒවායේ. පපු දේශපාලන තියෙන්නේ අපේ රටේ විතරයි.

මොලෙන් ගහලා අපි දේශපාලනය දිනන්න ඕනා. අන්න ඒ ජයග්‍රහණය අපේ රටට ලැබේවා. අපේ ජනාධිපතිතුමා එය ජයග්‍රහණය කරලා මේ රට අනාගතයේ බැබලේවා. ඔබට ජයවේවා” යැයි පැවසීය.

මේ උත්සවයට පළාත් සභා අපේක්ෂකයින් වන ප්‍රසන්න සංජීව, එම්. අම්ජාඩ්, පියල් නිශාන්ත යන මහත්වරු හා ප්‍රාදේශීය සභා - නගර සභා මන්ත්‍රීවරුද සහභාගි විය.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා