උතුරු පළාත ඉන්දියාවේ 30වැනි ප්‍රාන්තය නොවන බව දෙමළ ජාතික සන්ධානයට මතක්කර දීමට සිදුවෙලා

උතුරු පළාත ඉන්දියාවේ 30වැනි ප්‍රාන්තය නොවන බව දෙමළ ජාතික සන්ධානයට මතක්කර දීමට සිදුවෙලා

- ජාතික නිදහස් පෙරමුණ

උතුරු පළාත යනු ශ්‍රී ලංකාව නැමැති ඒකීය රාජ්‍යයේ පළාතක් විනා එය ඉන්දියාවේ 30 වැනි ප්‍රාන්තය නොවන බව උතුරු පළාත් සභාවේ මහ ඇමැති විග්නේෂ්වරන් මහතා ඇතුළු දෙමළ ජාතික සන්ධාන නායකත්වයට මතක්කර දීමට සිදුව ඇතැයි ජාතික නිදහස් පෙරමුණ පවසයි.

උතුරු පළාත් සභාව විසින් පසුගිය 18 වැනිදා, “යාපනයේ පලාලි සහ ත්‍රිකුණාමලයේ චීන වරාය යන ගුවන් තොටුපළවල සිට ඉන්දියාවට සෘජු ගුවන් සේවා ආරම්භ කළ යුතුය“ යනුවෙන් යෝජනාවක් හා ‘උතුරු දුම්රිය මාර්ගය තලෙයිමන්නාරම දක්වා දීර්ඝ කොට ඇති බැවින් තලෙයිමන්නාරමේ ජැටියේ සිට දකුණු ඉන්දියාවේ රාමේෂ්වරම් අතර නැව් සේවයක් ඇරඹිය යුතුය යන යෝජනාවකුත් ඒකමතිකව සම්මත කොට ගෙන තිබෙනවා. එසේම ‘කන්කසන්තුරේ වරාය පුළුල් කොට වාණිජ වරායක් ලෙස සංවර්ධනය කළ යුතුයි හා ඉන්දියාවේ සිට පැමිණෙන නැව් කෙලින්ම කන්කසන්තුරේ වරායට ගෙන්වා ගැනීමට පියවර ගත යුතුයි යනුවෙන් තවත් යෝජනාවක්ද ඔවුන් ඒකමතිකව සම්මත කොට ගෙන තිබෙනවා.

මේ සියල්ල ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කරමින් සම්මත කර ගත් නීතිවිරෝධී යෝජනා බව පෙන්වා දීමට කැමති යැයි ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුස්ම්මිල් මහතා පැවැසීය.

ඉඩම්, පොලිස් බලතල ඇතුළු බෙදුම්වාදී බලතල සහිතව උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වුවහොත් මෙවැනි තත්ත්වයක් උද්ගත විය හැකි බව ජාතික නිදහස් පෙරමුණ දිගින් දිගටම පෙන්වා දුන්නා. අප පෙන්වා දුන් පරිදිම අද උතුරු පළාත් සභාව බෙදුම්වාදය පෝෂණය කරන තිප්පොළක් බවට පත්ව තිබෙනවා.ජයලලිතාගේ තීරණය අපට හොඳ පාඩමක් උගන්වා තිබෙනවා

රාජිව් ගාන්ධි ඝාතනයට වරදකරුවන් වී ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වූ පුද්ගලයන් 7 දෙනකු නිදහස් කිරීමට තමිල්නාඩුවේ මහ ඇමැතිනී ජයලලිතා ජෙයරාම් මහත්මිය තිරණය කොට තිබෙනවා. ඉන්දියාවේ ප්‍රාන්ත රජයක මහ ඇමැතිවරයකුට ලබා දී ඇති බලතල ප්‍රකාරවයි ඇය මේ තීරණය ගෙන ඇත්තේ. රාජ්‍ය නායකයකු කුරිරු ලෙස ඝාතනය කිරීමේ වරදට දඬුවම් විඳිමින් සිටි වරදකරුවන් මෙසේ නිදහස් කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකියි

අධිකරණ ඇමැති ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක රාවුෆ් හකීම් මහතා පවසා තිබෙනවා, ජාතික නිදහස් පෙරමුණ මුසම්මිල් වැනි අය යොදාගෙන කඩාකප්පල්කාරී කටයුතු කරනවා කියලා. අපි කිසිටිටක කඩාකප්පල්කාරී කටයුතුවල නිරත වන්නේ නැහැ. අපි සැමවිටම කටයුතු කරන්නේ, කතා කරන්නේ එළිපිටයි.

ජාතික නිදහස් පෙරමුණ මහින්ද චින්තන ප්‍රතිපත්තිය වගේම 2010 මහින්ද චින්තන ඉදිරි දැක්මෙහි ඇතුළත් ප්‍රතිපත්ති දිනවීම සඳහා කැපවන, එක්සත් ජනතා නිදහස් සන්ධානය තුළ හිඳිමින් ප්‍රතිපත්තිගරුක දේශපාලනයක නිරතව සිටින පක්‍ෂයක්.

නමුත් රාවුෆ් හකීම් මහතා ඇතුළු මුස්ලිම් කොංග්‍රසය 2005 ජනාධිපතිවරණයේ දී මහින්ද චින්තනයට විරුද්ධව කටයුතු කළ පක්‍ෂයක්. එසේම 2010 දීත් මහින්ද චින්තන ඉදිරි දැක්මට විරුද්ධව කටයුතු කළ පක්‍ෂයක්. අපි අහන්න කැමතියි, එසේ කටයුතු කළ මුස්ලිම් කොංග්‍රසය අද එක්සත් ජනතා නිදහස් සන්ධානය තුළ අමාත්‍ය වරප්‍රසාද භුක්ති විඳිමින් සිටින්නේ කවර ප්‍රතිපත්තියක් මතද කියලා.

ආණ්ඩුවේ සමගිය පිළිබඳ කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම පිළිබඳ කතා කළාට වැඩක් නැහැ, ඒ පිළිබඳ කැප වන බව ක්‍රියාවෙන් ඔප්පු කොට පෙන්වන ලෙස අපි රාවුෆ් හකීම් මහතාගෙන් ඉල්ලා සිටිනවා.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා