ඝාතකයන් නිදහස් කිරීම අත්හිටුවන්නැයි ඉල්ලා ඉන්දීය රජයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

රජිව් ගාන්ධි ඝාතනයේ මිනීමරුවන්  නිදහස් කිරීමට තමිල්නාඩුව ගත් තීරණය

ඝාතකයන් නිදහස් කිරීම අත්හිටුවන්නැයි ඉල්ලා ඉන්දීය රජයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

ඉන්දියාවේ හිටපු අගමැති ශ්‍රී රජිව් ගාන්ධි ඝාතනය සමස්ත ඉන්දීය ආත්මයටම එරෙහිව එල්ල කළ ප්‍රහාරයක් බව ඉන්දීය අගමැති මන් මෝහන් සිං මහතා ඊයේ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.

හිටපු අගමැති ශ්‍රී රජිව් ගාන්ධි ඇතුළුව තවත් අහිංසක ඉන්දියානුවන් කීපදෙනකු ඝාතනය කළ අපරාධකරුවන් නිදහස් කිරීම යුක්ති ධර්මයේ සියලු මූලධර්මයන්ට පටහැනි ක්‍රියාවක් බව මන් මෝහන් සිං මහතා කියයි. ඒ සමඟම 1991 දී රජිව් ගාන්ධි ඝාතනය කළ අපරාධකරුවන් නිදහස් කිරීමේ ප්‍රයත්නය ඔහු එකහෙලා හෙළා දැක ඇත.

ඔහු මෙබව ප්‍රකාශ කර ඇත්තේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් රජිව් ගාන්ධි ඝාතනය කිරීමට වරද කරුවන් වූ අපරාධ කරුවන් 7 දෙනකු නිදහස් කිරීමේ තමිල්නාඩු ප්‍රයත්නයකට එරෙහිව ඉන්දීය රජය නීතිමය අභියෝගයක් ඉදිරිපත් කිරීමත් සමඟය.

මේ ඝාතනය සිදු වූ තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමැතිනි ජේ. ජයලලිතා පෙරේදා කියා තිබුණේ මධ්‍ය රජය සමඟ සාකච්ඡා කිරීමෙන් පසු අදාළ අපරාධ කරුවන් 7 දෙනා නිදහස් කිරීමට පියවර ගන්නා බවය. එහෙත් ඔවුන් නිදහස් කිරීම අත්හිටුවන ලෙස ඉල්ලමින් ඉන්දීය රජය ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර ඇති අතර එය ඊයේ සවස විභාගයට ගනු ඇතැයි සැළකී තිබිණ.

මේ සම්බන්ධයෙන් අගමැති මන් මෝහන් සිං නිකුත් කළ නිවේදනයේ ගාන්ධි ඝාතනය ඉන්දීය ආත්මයට එල්ල කළ ප්‍රහාරයක් බවත් ත්‍රස්ත වාදයට එරෙහි සටනේ දී කිසිඳු රජයක් හෝ පක්ෂයක් සානුකම්පිතව කටයුතු නොකළ යුතු බවත් සඳහන් කර තිබේ.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා