ජගත් මානව හිමිකම් මණ්ඩලයට දෙන යෝජනා සැබෑ තත්ත්වයට පටහැනියි

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන්

ජගත් මානව හිමිකම් මණ්ඩලයට දෙන යෝජනා සැබෑ තත්ත්වයට පටහැනියි

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත යෝජනාව මෙරට ප්‍රතිසංධාන ක්‍රියාවලිය සහ කල්පවත්නා සාමය දිරිමත් කිරීමේ ක්‍රියාවලියක් ලෙස හැඳින්වුව ද එයින් සිදුවන්නේ ඊට මුළුමණින්ම පටහැනි ක්‍රියාවක් බව රජය අවධාරණය කරයි.

ජගත් මානව හිමිකම් කවුන්සලයේ ඇතැම් සාමාජික රටවල් විසින් තෝරා ගත් රටවල් සම්බන්ධයෙන් විහේෂ ක්‍රියාදාමයක් දිගින් දිගටම අනුගමනය කිරීම එම මණ්ඩලයේ විශ්වසනීයත්වය සහ අපක්ෂපාතිත්වය වියැකී යාමට හේතු වියහැකි බව බෙල්ජියමේ සහ යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා තානාපති පී.එම් අම්ෂා මහතා ප්‍රකාශ කරයි.

යුරෝපා පාර්ලිමේන්තු නියෝජිත කණ්ඩායමක් හමුවේ ශ්‍රී ලංකා තානාපතිවරයා මේ බව සඳහන්කර ඇතැයි බෙල්ජියමේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

මෙහි දී වැඩි දුරටත් අදහස් දක්වමින් පී.එම් අම්ෂා මහතා පෙන්වා දී තිබෙන්නේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පසුගිය 2012 හා 2013 වර්ෂයන්හි ජිනීවාහි පිහිටි ජගත් මානව හිමිකම් කවුන්සලයේ දී සම්මතකර ගත් යෝජනා ද්විත්වයම ප්‍රතික්ෂේප කරන බවත් ඒවා දේශපාලනීකරණය වීමේ ප්‍රතිඵලයන් බවත්ය. එමගින් සිදුවන්නේ ජගත් මානව හිමිකම් කවුන්සලයේ සාමාජික රටවල් අතර බෙදීමක් බවද හෙතෙම පෙන්වා දී තිබේ.

මෙවැනි තත්ත්වයක් එම කවුන්සලයේ ක්‍රියාදාමයන් මෙන්ම අපක්ෂපාතිත්වය සහතික කෙරෙන මානව හිමිකම් යෝජනා සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යෝජනාවන්ට පටහැනි බවද ශ්‍රී ලංකා තානාපතිවරයා යුරෝපා පාර්ලිමේන්තු නියෝජිත කණ්ඩායම හමුවේ ප්‍රකාශකර ඇත.

ජගත් මානව හිමිකම් මණ්ඩලයේ යෝජනාවන් ප්‍රතික්ෂේප කළ ද ශ්‍රී ලංකා රජය අඛණ්ඩවම ප්‍රතිසංධාන ක්‍රියාවලිය වෙනුවෙන් කැප වී ක්‍රියාකරන බවද දැනටමත් ඒ සඳහා පිළිගත් ක්‍රමවේදයන් අනුගමනය කරන බවද සිහිපත් කර තිබෙන ශ්‍රී ලංකා තානාපතිවරයා උගත් පාඩම් හා ප්‍රතිසංධානය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශයන් අනුව ජාතික ක්‍රියාකාරී සැලැස්මක් ආරම්භකර තිබෙන බවද අවධාරණයකර තිබේ.

ලෝකයේ එක් එක් රටවල මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් වඩා සාධාරණ හා සමානාත්මක ක්‍රියාවලියක් වෙනුවෙන් විශ්ව කාලීන සමාලෝචනයක් මගින් විමර්ශනය කළ හැකි බවද පසුගිය කාලයේ පැවැති ගැටුම්කාරී තත්ත්වය මෙරට සාමාන්‍ය ජනතාවට තදින්ම බලපෑ බවද බෙල්ජියමේ සහ යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා තානාපතිවරයා පෙන්වාදී ඇත.‍‍

කෙසේ වුවද ශ්‍රී ලංකාවේ ගැටුම් පැවැති කාලයේ දී මානව හිමිකම් සම්බන්ධයෙන් හෝ රටේ පැවැති තත්ත්වය සම්බන්ධයෙන් කිසිවකු අවධානය යොමු නොකළ බවද එම කාලයේ දී කිසිඳු රටක් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනාවන් ගෙනඒමට ඉදිරිපත් නොවූ බවද අම්ෂා මහතා සිහිපත් කළ බව බෙල්ජියමේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන්කර තිබේ.

මේ අතර යුද ගැටුම් සාර්ථකව අවසන් කළ ශ්‍රී ලංකාව අභ්‍යන්තර වශයෙන් අවතැන් වූ සාමාන්‍ය වැසියන් 297,000ක් නැවත පදිංචි කිරීමට ශ්‍රී ලංකා රජයට හැකි වූ බව සඳහන්කර තිබෙන ඒ මහතා ත්‍රස්තවාදීන් උතුරු හා නැඟෙනහිර ප්‍රදේශයන්හි වළ දැමූ බිම් බෝම්බවලින් සියයට 98ක් ඉවත් කර අවසන් බවද හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයන් 11,758දෙනෙකු පුනරුත්ථාපනය කිරීමෙන් පසු සමාජ ගත කර තිබෙන බවද ප්‍රකාශකර තිබේ.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා