හැට පැන්න පෙමි හබය මතක් වී සැමියා තලයි බිරියට හො‍ඳටම උරණ වී

හැට පැන්න පෙමි හබය මතක් වී සැමියා තලයි බිරියට හො‍ඳටම උරණ වී

වැලි කෙළියේ පටන් එකම ගම්මානයේ එකට හැදී වැඩුනු ඔවූහු පැරණි ගම්වැසියෝ වූහ. යොවුන් වියට පත් වූ ඔහු දාහත් හැවිරිදි ඇය ව විවාහ කැර ගත්තේ දෙපාර්ශවයේම ආශිර්වාද මධ්‍යයේය.

එදා පටන් මේ දක්වා දරුවන් නව දෙනකු බිහිකර ඔවුන් ලොකු මහත් කැර දීග දෙන තෙක්ම මේ අඹු සැමියෝ “උඹ නොදකිං” කියා කිසි දිනෙක සණ්ඩු සරුවල් කළේ නැත. දුක සැප බෙදා ගනිමින් මේ දෙමහල්ලෝ සතුටින් ජීවත් වූයේ ගමේ අන් අයටත් ආදර්ශයක් වන පරිද්දෙනි.

දැන් ඔහුට වයස අවුරුදු හැට හතකි. ඇයට හැට දෙකකි. දෙන්නා දෙමහල්ලෝ පින් දහම් කරමින්, පොහොයට අට සිල් සමාදම් වෙමින්, දරු මුණුපුරන්ගේ සුරතල් බලමින් ජීවත් වෙති.

පසුගිය දිනෙක බුලත් විටක් කොටමින් සිටි සැමියාට හදිසියේම යමක් සිහිපත් විය. මීට හතළිස් පස් වසරකට ඉහත තම බිරිය විවාහ කැර ගැනීමට පෙර ඇය ගමේ කොල්ලෙක් සමග පවත්වා ගෙන ගිය සම්බන්ධයක් ඔහුගේ මතකයට ආවේය.

මේ අවස්ථාවේ බිරිය සිටියේ බණ පොතක් කියවමිණි. ඇය බණ පොත ශබ්ද නගා කියවමින් සිටියේ සැමියාගේ සිත තව තවත් ආගම දහමට යොමු කැර ගැනීමේ අටියෙනි.

මහළු බිරිය දෙස ඔරවා බැලූ වියපත් සැමියා “උඹට මතකද උඹේ උක්කුවා” යනුවෙන් ඇසුවේය..

“ඌ මැරිලා කොච්චර කල්..මොකද උඹලාට හදිසියේම ඒකා සිහිපත් වුනේ?” බිරිය ඇසුවාය.

“උඹ තොත්ත බබා..මට මතකයි ඒ දවස්වල උඹ උක්කුවා එක්ක නටපු නාඩගම්. අන්තිමේ මගේ කරේ එල්ලුනා. උඹ හොඳ ගෑණියෙක් නෙවේ බොල” කිවි සැමියා ඇය වෙතට පැන තඩිබාන්නට පටන් ගත්තේය. .ඇගේ විලාප හඬ ඇසුනු අසල්වාසීන්ගේ මැදිහත් වීමෙන් සිද්ධිය සමථයකට පත්වූවත් දැන් මේ දෙන්නා දෙමහල්ලෝ අතර කතාබහක් ඇත්තේම නැත..

හතළිස් පස් වසරකට පෙර තිබූ බිරියගේ ආදර සම්බන්ධයක් මතක් වී හැට දෙහැවිරිදි බිරියට පහර දුන් හැටහත් හැවිරිදි මහල්ලාගේ මේ කතාව ඇසෙන්නේ මරදන්කඩවලිනි.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා