රයිගම්පුර වෙස් මුහුණු ගම්මානයක් හැදුණා ඒත් හැදුන්නැත්තේ වෙළෙඳ පොළක් තමයි

රයිගම්පුර වෙස් මුහුණු ගම්මානයක් හැදුණා ඒත් හැදුන්නැත්තේ වෙළෙඳ පොළක් තමයි

මූණු ගමේ ශිල්පීන්ගේ අනාගතය තවමත් අඳුරේ

අමුද්‍රව්‍යත් හරිම හිඟයි

මූණු හැදිල්ලට තරුණ‍යන් ඒ හැටි කැමැත්තක් නෑ

ප්‍රතිසංවිධාන කරන ලද හොරණ බටුවිට මව්ගම ඔලබොඩුව දැව වෙස් මුහුණු ගම්මානයක් සමඟම වෙළෙඳ පොළ ගැටලුවට ද විධිමත් විසඳුමක් ලබා දෙන්නැයි රයිගම්පුර වෙස්මුහුණු ශිල්ප සංවර්ධන සමිතියට අයත් ශිල්පීහු පවසති.

පැරැණි වෙස් මුහුණු කලාවට නව ජීවයක් දීමේ අරමුණු මත බටුවිට මව්ගම සාම්ප්‍රදායික දැව වෙස් මුහුණු ගම්මානය පසුගියදා සාම්ප්‍රදායික කර්මාන්ත සහ කුඩා ව්‍යවසාය සංවර්ධන ඇමැති ඩග්ලස්.පී. දේවානන්ද සහ ජ්‍යෙෂ්ඨ ඇමැති රත්නසිරි වික්‍රමනායක අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් ජාතික ශිල්ප සභාවේ සභාපති බුද්ධි කීර්තිසේන මහතාගේ සංකල්පයක් මත ජනතා අයිතියට පත් කෙරිණි.

මේ ගම්මානය සහ වෙස් මුහුණු ශිල්පීන් ගැන අදහස් දක්වන බටුවිට ඒ.ඒ. සුනිල් මහතා අපට ගැටලු රාශියක් තිබෙනවා. ඒවාත් විසඳා ගන්නට අවශ්‍යයි. මම අවුරුදු 35ක ඉඳලා මේ ස්වයං රැකියාව කරන්නේ.

පරම්පරාවෙන් ලබා ගත් දැනුම පළ පුරුද්දෙන් දැනුම වැඩිකර ගත්තා. ජස කෝලම, සළු පාලිය, දහඅට සන්නිය, මයුර මුහුණ, ගිනිදැල්, නාගරාක්ෂ, ගුරුළු මුහුණු, අපි නිර්මාණය කරනවා.

අපට තිබෙන ප්‍රධානම ගැටලුව තමයි අමුද්‍රව්‍ය සහ වෙළෙද පොළ, දැව වර්ග කිහිපයක් තිබෙනවා. වෙස් මුහුණු නිර්මාණය කරන්නට. පහසු දැව වර්ගය තමයි වෙල් කදුරු නැත්නම් දිය කදුරු. පැළෙන්නෙ නෑ. ගුල්ලො ගහන්නේ නෑ.

කදුරු මේ ගම්වල ඉන් නියර අයින් දිගේ සිටුවන්නට පුළුවන්. ඒ ගැන අවධානය කරනවා නම් ඉතා හොඳයි. අපි දැනට කදුරු කොටන් ගේන්නෙ ඇල්පිටිය වදුරඹ වගේ ඈත පෙදෙස්වලින්. LD ලොරියක ලෝඩ් එකකට රු.25,000ක් විතර වෙනවා. අපේ කාලය ගතවෙනවා ඒ පැත්තට ගියොත්.

ගමට එන ලොරිවලින් අපි තුන් හතර දෙනෙක් මිලට ගන්නවා.

රයිගම්පුර වෙස් මුහුණු ගම්මානය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට පැමිණි ජ්‍යෙෂ්ඨ ඇමැති රත්නසිරි වික්‍රමනායක මහතා වෙස් මුහුණු ශිල්පියකුට භාණ්ඩ ලබා දෙන අවස්ථාවක්.

 ජේ. ඒ. සිරිවර්ධන මහතා සහ කරුණාවතී රතුගේ මහත්මිය

අපට විධිමත් වෙළඳ පොළක් නැහැ. ලක්සලට දෙන්නට පුළුවන්. කලට වලාවට මුදල් ගැනීම අපහසුයිනේ. ප්‍රදර්ශනාගාරවලට භාණ්ඩ ගෙන ගියාම ඉල්ලන්නේ අඩුවෙන්. ඒ අය සංචාරකයන්ට වැඩි මුදලට විකුණනවා. ලොකු වෙස් මුහුණු ගෙන යාම ඉතා දුෂ්කරයි. අපට වාහනත් නැහැනෙ. ඒ වගේම මන්න, පිහිය, පොරව, අත් පොරව, කියත, නියන, අඬුව, ඩ්‍රිල් එක ආදී භාණ්ඩ ගොඩක් අවශ්‍යයි. දිවි නැඟුම පනත යටතේ බැංකු මඟින් ණය ලබා ගන්නට පුළුවන් කීවාට ණය ගන්නට ගියාම ගැටලු ගොඩයි. මේ ගැටලු විසඳා ගැනීමට රජයෙන් ශිල්ප සභාවේත් අවධානය යොමු විය යුතුයි.

ජේ.ඒ. සිරිවර්ධන (බටුවිට)- අපි කොතරම් දුක් විඳිනවද කියල දන්නෙ මේ රස්සාව කරන අය විතරයි. කදුරු ලීය කපල මුහුණ නිර්මාණය කර ගන්නට ඕන. ඒකට සතියක් පමණ ගත වෙනවා. මහ කෝල සන්නිය වෙස් මුහුණ අඳින්න පමණක් සතියක් විතර ගතවෙනවා. වෙළෙඳ පොළට ගෙනියන තෙක් මාසයක් පමණ ගත වෙනවා. ඉක්මණින් අලෙවි කර ගැනීමට නොහැකි වුවොත් අපේ ආර්ථිකය කඩා වැටෙනවා.

ඒ. ඒ. ධර්මසිරි (බටුවිට)- මේ මුහුණු කලට වෙලාවට අලෙවි කර ගත්තොත් පමණයි අපේ ජීවිත ගෙනියන්නට පුළුවන් වනුයේ. තරුණ පරපුර අපේ පාරම්පරික

ජීවින වෘත්තිය සඳහා යොමුවන්නේ ඉතාමත් අඩුවෙන්. තරුණියන් ඇඟලුම් කර්මාන්තයට, යොමුවීමත් තරුණයන් එදිනෙදා

වාණීජ ව්‍යාපාර වෙත හඹායාමත් නිසා ගමේ තරුණ තරුණියන් වෙස් මුහුණු කර්මාන්තය වෙත යොමු වන්නේ නෑ.

ජාතික ශිල්ප සභාවේ සභාපති බුද්ධි කීර්තිසේන- ශ්‍රී ලංකාවේ වෙස් මුහුණු කර්මාන්තයට අයත් ගුරුකුල තුනක් මාතර අම්බලන්ගොඩ, රයිගම් කෝරලය වශයෙන් ස්ථාපිතයි.

මෙයින් රයිගම් කෝරළ ගුරුකුලය මෙයින් වසර 130කට පමණ පෙරදී හොරණ ඔලබොඩුව ගමේ දී හදා ගුරුන්නාන්සේ විසින් ආරම්භ කළා. මේ වෙස් මුහුණු ගම්මාන මේ වන විට පස්වැනි පරම්පරාව දක්වා ව්‍යාප්ත වී තිබෙනවා. ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශන සඳහා ඔලබොඩුවේ වෙස් මුහුණ ද ඉදිරිපත් කෙරිණි. ගොක් කොළ කැටයමට පවා ජාත්‍යන්තර කීර්තියක් ලැබුණු වග විශේෂයෙන් සඳහන් කළ යුතුවේ.

රයිගම්පුර ශිල්ප සංවර්ධන සමිතියේ ලේකම් කරුණාවතී රතුගේ, ඕ.ඇන්. විජයදාස (ඔලබොඩුව), ඕ.ඇන්. රූපානන්ද මහත්ම මහත්මීහුද මෙහිදී අදහස් දැක් වූහ.

 

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා