|
||||
සංගක්කාරගෙන් විශිෂ්ට ශතකයක්එක්දින තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
බංග්ලාදේශය සමග මීර්පූර්හිදී පැවැති දෙවැනි තරගය ලකුණු 61කින් ජයගනිමින් තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය එක් තරගයක් ඉතිරිව තිබියදී 2-0ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා පිල ඊයේ සමත්විය. කුමාර් සංගක්කාර විශිෂ්ට ශතකයක් රැස් කිරීමත්, අශාන් ප්‍රියංජන සමග එක්ව සිවුවැනි කඩුල්ලට ලකුණු 114ක අගනා සම්බන්ධතාවක් ගොඩනැගීමත් මත ශ්‍රී ලංකා පිල කඩුලු 6ක් දැවී රැස්කළ ලකුණු 289ට පිළිතුරු ලෙස බංග්ලාදේශයට ඕවර 43කදී සියල්ලන් දැවී ලබාගත හැකිවුයේ ලකුණු 228ක් පමණි. ලකුණු 290ක ඉලක්කය හඹායෑම ඇරැඹු බංග්ලාදේශ පිලේ පළමු කඩුල්ල ලකුණු 2දී බිඳ වැටිණි. මාලිංගගේ සිවුවැනි පන්දුවට සචිත්‍ර සේනානායක උඩපන්දුවක් රැකගැනීමෙන් සම්සූර් හර්මාන්ගේ ඉනිම නිමාවට පත්විය. දෙවැනි කඩුල්ලට එනාමුල් හක් සමග එක්වු මොමුනුල් හක් ලකුණු 55ක් එක්කරමින් යම් ස්ථාවරයක් ලබාදුන්නද ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ එම සබඳතාවද බිඳ වැටුණි. ලකුණු 63කට කඩුලු 3ක් වැටී තිබියදී නායක මුෂ්ෆිකර් රහීම් සමග එක්වු ෂකීබ් අල් හසන් සිවුවැනි කඩුල්ලට ලකුණු 53ක් එක්කරමින් බංග්ලාදේශ පිල ඉදිරියට ගෙනයෑමට උත්සහ කළ අතර අශාන් ප්‍රියංජන මංගල එක්දින ජත්‍යන්තර කඩුල්ල ලෙස සකීබ් ලකුණු 24කට දවාගැනීමෙන් බංග්ලාදේශ පිලට වැඩි පීඩනයක් එල්ල විය. නායකත්වයේ ඉනිමක් දියත් කළ මුෂ්ෆිකර් රහිම් ලකුණු 79ක් ලබාසිටියදී දවාගැනීමට ලසිත් මාලිංග සමත්වීමත් සමග ශ්‍රී ලංකා පිලේ ජයග්‍රහණය තහවුරු විය. රහීම් නවවැනි කඩුල්ල ලෙස ලකුණු 220දී දැවී යනවිට පන්දු 83කට මුහුණදී හතරේ පහර 5ක් හා හයේ පහර 2ක් එල්ලකර තිබිණි. කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිලේ පළමු කඩුල්ල ලෙස කුසල් ජනිත් පෙරේරා ලකුණු 8කට දැවී ගිය අතර නැවැතත් අසාර්ථක වු තිලකරත්න ඩිල්ෂාන් (8) හා දිනේෂ් චන්දිමාල් (9) අඩු ලකුණු ගණනකට දැවීයාමෙන් කඩුලු 3කට ලකුණු 63ක් ලබා අසීරු තත්ත්වයකට වැටුණු ශ්‍රී ලංකා පිලට අස්වැසිල්ලක් ලබාදුන් සංගක්කාර අෂාන් ප්‍රියංජන සමග එක්ව මුළු ලකුණු සංඛ්‍යාව 177 දක්වා ඉහළ නැංවිය. සිවුවැනි කඩුල්ල සඳහා ගොඩනැගුණු මේ අගනා සම්බන්ධතාව බිඳ වැටුණේ ශ්‍රී ලංකා ඉනිමේ 37වැනි ඕවරය යැවූ ශකීබ් අල් හසන්ගේ පන්දුවකිනි. කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවු ප්‍රියංජන දැවී යෑමෙන් දෙදෙනා අතර ගොඩනැගුණු ලකුණු 114ක සබඳතාව බිඳ වැටුණි. පන්දු 97කදී හතරේ පහර 7ක් සමගින් ලකුණු 60ක් අශාන්ගේ ඉනිමට ඇතුළත් වු අතර පළමු එක්දින තරගයේදී ඔහු, ෂකීබ් හමුවේ මේ ආකාරයෙන්ම දැවී යෑම විශේෂත්වයකි. අෂාන් ප්‍රියංජන දැවීයාමෙන් පසුව නායක ඇන්ජෙලෝ මැතිව්ස් සමග එක්වූ සංගක්කාර ඊයේ වාර්තා කළේ සිය එක්දින තරග දිවියේ 17වැනි ශතකයයි. පන්දු 115ක් වැයවූ ඔහුගේ ශතකය දර්ශනීය හතරේ පහර 14කින් වර්ණවත් විය. ඔහුට අනගි සහයක් ලබාදුන් නායක මැතිව්ස් නොදැවී ලකුණු 56ක් රැස් කළේය. මැතිව්ස්ගේ ලකුණු 56 සඳහා පන්දු39කදී හතරේ 6ක් හා හයේ පහරක් ඇතුළත් විය. තරගයේ වීරයා ලෙස නම්කළ සංගක්කාර දැවී ගියේ අර්ෆට් සනීගේ පන්දුවකට මහමුදුල්ලා අතට උඩපන්දුවක් ලබාදෙමිනි. ඔහු දැවී යනවිට ශ්‍රී ලංකා පිලේ ලකුණු සංඛ්‍යාව 260ක් විය. සංගක්කාර හා මැතිව්ස් අතර පස්වැනි කඩුල්ලට ලකුණු 83ක සබඳතාවක් ගොඩ නැගුණි. පළමු තරගයේදී ශ්‍රී ලංකා ජයග්‍රහණයේ නියමුවා වු තිසර පෙරේරා ඊයේ තරගයේදී ලකුණු නොලබා දැවී ගියේය. කිත්රුවන් විතානගේ නොදැවී ලකුණු 13ක් රැස්කළේය. |
||||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2014 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |