පොදු ජනයාගේ මිනිසාට පාට නෑ! භේද නෑ!

පොදු ජනයාගේ මිනිසාට පාට නෑ! භේද නෑ!

දේශපාලකයන් නිසා ඇතැම් රටවල් විනාශ වෙයි. තවත් දේශපාලකයන් නිසා ඇතැම් රටවල් වැඩිදියුණු වෙයි. දේශපාලකයන් නිසා ඇතැම් රටවල ජනතාව අන්ත-අසරණ තත්ත්වයට පත් වෙති. තවත් දේශපාලකයන් නිසා ඇතැම් රටවල ජනතාව සුඛිත-මුදිත තත්ත්වයට පත් වෙති. නයිජීරියාවේ මහා ලේඛක චිනුවා අචෙබෙ වරක් කියා සිටියේ අපේ රටේ කිසිදු වරදක් නැත. වරද ඇත්තේ දේශපාලකයන් ළඟ හා නායකයන් ළඟ බව ය. එය සත්‍යයෙකි. රටේ සම්පත් ජනතාව අතර බෙදා දිය හැක්කේ දේශපාලකයාට ය. රටේ යහ පාලනය ඇති කළ හැක්කේ ද ඔහුට ය.

ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක දේශපාලකයා මහජන ඡන්දයකින් තේරී පත්වූ පසු ඔහු කාගේත් නායකයා බවට පත් වේ. කාගේත් නායකයා හෙවත් මහජන නියෝජිතයා යනු තමාට ඡන්දය පාවිච්චි කළ පුද්ගලයන්ගේ මෙන් ම විපක්ෂයට ඡන්දය දුන් පුද්ගලයන්ගේ ද නායකයා බවට පත්වීම ය. එම මහජන නියෝජිතයා කන්දිය යුත්තේ තමන්ගේ ඡන්දදායකයාට පමණක් නො වේ. ඔහු පොදු මිනිසෙකි. ජනතාවගේ මිනිසෙකි. මේ බව අමතක කරන්නේ නම්; ඔහු හෝ ඇය හෝ දේශපාලනයට සුදුසු නැත.

නොරොච්චෝලේ සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් මහජන අයිතියට පත් කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ සිද්ධියට අදාළ අපූරු කතාවක් කියා සිටියේ ය. මහින්ද රාජපක්ෂ මහතා තහවුරු කළේ වර්තමාන ආණ්ඩුව පක්ෂ - පාට හා වෙනත් භේද නො සලකා ජනතාවට සහන ලබා දෙමින් සිටින බව ය. එයට හොඳම නිදසුන පුත්තලම බව ද ඔහු කියා සිටියේ ය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බොහෝ විට මේ පළාතේ ඡන්දවලින් පරාජයට පත් විය. එහෙත් ආණ්ඩුව පුත්තලමට කුඩම්මාගේ සැලැකිල්ල දැක්වූයේ නැත.

නොරොච්චෝලේ ඇතුළු යාබද ප්‍රදේශ හැඳින්වෙන්නේ අතිශය දුෂ්කර කලාප ලෙස ය. එහි පිටිසරබද ගම්වලට අවශ්‍ය පොදු පහසුකම් දීර්ඝ කාලයක් තිස්සේ ම ලැබී තිබුණේ නැත. ඇතැම් ආණ්ඩු මේ පළාත් නොසලකා හැරිය බව අමුතුවෙන් කිව යුතු නැත. බොහෝ ගම්මානවල ජනතාව කෘෂිකර්මයෙන් ජීවත් වෙති. තවත් ගම්මානවල ජනතාව ධීවර කර්මාන්තයෙන් ජීවත් වෙති. පොදුවේ කා අතරත් ප්‍රචලිත සාධකය වන්නේ දිළිඳුකම ය. අද වනවිට ඔවුන්ගේ ජීවිත තුළ විශාල පෙරැළියක් ඇති වී තිබේ.

මේ පළාත්වල වගා කළ එළවළු හා පලතුරු ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර තිබේ. උඩරට එළවළු හා පලතුරු අතර ද මෙහි එළවළු හා පලතුරු අතර ද කිසිඳු වෙනසක් නැති බව කියැවේ. කෘෂිකර්මයට අවශ්‍ය පහසුකම් ලැබීම මේ දියුණුවට හේතුවයි. ඒ හැරෙන්නට පළාතේ මහා මාර්ග සංවර්ධනය වී ඇති බැවින් වෙළෙඳ පොළ ගැටලුව විසැඳී ඇත. පළාතේ අධ්‍යාපනය හා සෞඛ්‍ය සේවාවන් ද දියුණු ය. ජනාධිපතිවරයා හෝ ආණ්ඩුව හෝ දේශපාලන පක්ෂය දෙස බලා සංවර්ධනය තීන්දු කළේ නම්; මේ පළාත් කිසිකලෙක දියුණු වන්නේ නැත.

1970 ගණන්වල සිට ම ශ්‍රී ලංකාවේ ජනතාව භුක්ති වින්දේ මජර දේශපාලන සංස්කෘතියක රස-ගුණය. රැකියාවන් ලැබුණේ හෙංචයියනට පමණි. උසස්වීම් ලැබුණේ හෙංචයියනට පමණි. විපක්ෂයේ රාජ්‍ය සේවකයාට දඬුවම් මාරු ලැබිණි. ඇතැම්විට ඔව්හු වැඩ තහනමට ද ලක් වූහ. රාජ්‍ය සේවාව තුළ දක්නට ලැබුණේ දරුණු ගණයේ දේශපාලන පළිගැනීම් ය. 1977 සිට එය තවදුරටත් වර්ධනය විය. 1994 සිට 2005 දක්වා කාලය තුළ පවා එහි අඩුවක් දක්නට නො ලැබිණි.

මන්ත්‍රීගේ ලියුම නැතොත් රැකියාවක් ලබාගත නො හැකි කාලයක් තිබිණි. මන්ත්‍රීගේ ලිපිය නැතොත් දරුවා පාසලට ඇතුළත් කර නො ගන්නා තත්ත්වයක් ද තිබිණි. කොටින් ම මන්ත්‍රීගේ ලියුම නැතිව කිසිවක් ම කරගත නො හැකි කාලයක් තිබිණි. මේ දුෂ්ට හැසිරීම නිසා පරාජයට පත් වුණේ විපක්ෂයට ඡන්දය දී තිබුණු ඡන්ද දායකයන් ය. දේශපාලනයේ සැබෑ තත්ත්වය එය නම්; මේ රටේ පුරවැසියා හැම අතින් ම අනාථ වනු ඇත. කෙසේ වුව අද වන විට කතිරයට හා දේශපාලන පාටට සලකන ක්‍රමය යම් පමණකින් වෙනස් වී තිබේ.

උතුරේ පළාත් සභා ඡන්දයෙන් ආණ්ඩු පක්ෂය පරාජයට පත් විය. එහෙත් ඡන්දය පැවැත්වීමට පෙර ඇතමකුගේ විශ්වාසය වූයේ උතුරේ ඡන්දයෙන් ආණ්ඩු පක්ෂය ජය ගනු ඇත යන්න ය. ඊට හේතුව වූයේ යුද්ධයෙන් විනාශ මුඛයට ගිය උතුර ඉතා කෙටි කාලයකින් යථා තත්ත්වයට පත් කොට ජනතාවට සහන රැසක් ලබාදීම ය. එම සංවර්ධනයේ ප්‍රතිලාභ ජනතාව ලබා ගත්තේ වුව; ඡන්දය ආණ්ඩු පක්ෂයට ලැබුණේ නැත. ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව උරණ වූයේ ද නැත. දැන් වෙනදාටත් වඩා උතුරේ සංවර්ධනය වේගවත් වී තිබේ. අප එය පිළිගත යුතු ය.

උතුරේ පළාත් සභාව, එහි මහ ඇමැති දෙමළ ඩයස්පෝරාව එකට ක්‍රියා කරන බවක් දක්නට ලැබේ. තමිල්නාඩුවේ දෙමළ ජාතිවාදය ඔවුනට පූර්ණ සහයෝගය ලබා දෙන බව ද දකින්නට ලැබේ. මීට සතියකට පමණ ඉහතදී උතුරු පළාත් සභාවේ යෝජනා දෙකක් සම්මත කර ගැනිණි. එම යෝජනාවල සඳහන් වූයේ උතුර හා ඉන්දියාව සම්බන්ධ කරගෙන ස්වාධීන ගුවන් සේවාවක් ආරම්භ කළ යුතු බව ය. එලෙස ම ස්වාධීන නාවික සේවාවක් ද ආරම්භ කළ යුතු බව ය. එය නීති විරෝධී තත්ත්වයකි. වෙන ම රාජ්‍යයකට පාර කැපීමකි.

මෙබඳු බලහත්කාරකම් දිගින්-දිගට ම සිදු වේ. ඔවුන් ක්‍රියා කරනුයේ වෙන ම දෙමළ රාජ්‍යයක් පිහිටුවීමේ ඉලක්කය ඇතිව ය. ආණ්ඩුව ඊට බුද්ධිමත් ව මුහුණ දෙන අතර උතුරේ ජනතාවට සාධාරණය හා යුක්තිය ඉටුකරමින් සිටී. පළාත් නමයෙන් වැඩි ම සංවර්ධනයක් සිදු වන්නේ උතුරේ ය. තවත් දින කිහිපයකින් යාල් දේවී දුම්රිය කොළඹ සිට පලෙයි දක්වා ගමන් කරනු ඇත.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා