තනතුරුවලට මරාගන්න පුරුද්දක් අපේ පක්ෂයට නැහැ

තනතුරුවලට මරාගන්න පුරුද්දක් අපේ පක්ෂයට නැහැ

ෂාන් විජේලාල් ද සිල්වා
දකුණු පළාත් හිටපු මහ ඇමැති

වසර 2004 දි හා වසර 2009 දි එක්සත් ජනතා නිදහස් සන්ධානය දකුණු පළාත් සභාවේ බලය හිමි කරගනිද්දි එහි මහ ඇමැති ධූරය හෙබවුයේ ෂාන් විජේලාල් ද සිල්වා මහතාය. මෙවරද දකුණු පළාත් සභාව වෙනුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් ගාල්ල දිස්ත්‍රික් කණ්ඩායම් නායකයා ලෙසද ඒ මහතා කටයුතු කරයි. මැතිවරණයේ වත්මන් තත්ත්වය හා ඉදිරි වැඩපිළිවල පිළිබඳ හිටපු මහ ඇමැතිවරයා දිනමිණ සමඟ කළ සාකච්ඡාවකි මේ.

* නීත්‍යානුකූලව පළාත් සභාවලට හිමි ව තිබෙන පාලන කාලය තවදුරටත් ඉදිරියට තිබියදී බස්නාහිර හා දකුණු පළාත් සභා විසුරුවා හැරීමට ආණ්ඩුව කටයුතු කළා. මෙලෙස මැතිවරණ පැවැත්වීමෙන් ආණ්ඩුව බලාපොරොත්තු වන්නේ කුමක්ද?

පළාත් සභා ක්‍රමය මේ රටට හඳුන්වා දෙන්නේ එක්සත් ජාතික පක්ෂය බලය ඉන්න කාලයේදි. ඒ කාලයෙදීත් පළාත් සභා මැතිවරණ වරින් වර පැවැත්වුවා. අද විපක්ෂයේ ඉන්න පිරිසට මේ දේවල් අමතක වෙලා. ඒ අය මුකුත් දන්නේ නැති අය වගේ තමයි කතාකරන්නේ. සාමාන්‍යයෙන් මැතිවරණයකට යෑමට බිය වෙන්න ඕනේ බලයේ ඉන්න පක්ෂයයි.

නමුත් දැන් වෙලා තිබෙන්නේ ඒකේ අනිත් පැත්තයි. අපේ රටේ විපක්ෂයයි මැතිවරණවලට යන්න එපා කියලා කෑ මොර දෙන්නේ. එහෙම නම් අපිටත් පුළුවන් මැතිවරණ පවත්වන්නේ නැතුව එක්සත් ජාතික පක්ෂය වගේ ලාම්පු කළගෙඩි සෙල්ලම් දාන්න. ඒත් අපේ රජය ඒ තැන නැහැ. අපිට එහෙම අවශ්‍යතාවකුත් නැහැ.

මොකද අපේ රජය යුද්ධය අවසන් කරලා වසර හතරක් ගෙවෙන්නත් කලින් ගම් නියම් ගම් සිසාරා එක සමාන සංවර්ධනයක් සිදුකර තිබෙනවා. විරැකියාව අඩුකර තිබෙනවා. දළ දේශිය නිෂ්පාදනය ඉහළට ගෙනවිත් තිබෙනවා. ඒකයි මම මුලිනුත් කිව්වේ අපි මැතිවරණවලට යන්න කිසිදු බියක් නැහැ කියලා.

* අද පළාත් සභා ගැන කතාකරන ඔබේ පක්ෂයම මුල්ම පළාත් සභා මැතිවරණය වර්ජනය කරලා ඊට ඉදිරිපත් වීමෙන් පවා වැළකී සිටියා. එහෙම නම් එදා එපා කිව්ව දේ අද වෙනකොට හොඳ වුණේ කොහොමද ?

ඒ මොහොතේ පක්ෂයක් ලෙස අපි ප්‍රතිපත්තිමය තීරණයක හිටියා පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ නැහැ කියලා. ඒ අවස්ථාවේ එම පළාත් සභාවට තරඟ කළේ එක්සත් ජාතික පක්ෂය, එක්සත් සමාජවාදි පෙරමුණ, ලිබරල් පක්ෂය හා ශ්‍රි ලංකා මුස්ලිම් කොංග්‍රසයයි. ඉන් පස්සේ පැවැත්වුණ සෑම පළාත් සභා මැතිවරණයකටම අපි තරඟ කළා. ඒ හැම මැතිවරණයක්ම අපි පහසුවෙන් ජයග්‍රහණය කළා. මා කියන්නේ නැහැ පළාත් සභාව පිහිටුවලා බලාපොරොත්තු වුණ අරමුණුවලින් සියට සීයක් ඉටුවෙනවා කියලා. නමුත් පළාත් සභාවකින් විශාල වැඩ කොටසක් ඉටුකරන්න හැකි වී තිබෙනවා. පසුගිය පළාත් සභාවලදිත් අපි ඒ දේ ඉටුකරලා තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස තමයි අපි ගියවර තුනෙන් දෙකේ බලයක් හිමිකර ගත්තේ.

* මෙතෙක් පැවැති පළාත් සභා පාලනයන්ගෙන් දූෂිත හා අක්‍රමිකතාවලින් පිරුණු පළාත් සභා පාලනයක් තිබුණේ ඔබ මහ ඇමැතිවරයා ලෙස ධූරය දැරු කාලයේදි කියන චෝදනාව විපක්ෂය එල්ල කරමින් සිටිනවා. ගින්නක් නැතුව දුමක් නගින්නේ නැහැ නේද ?

අද විපක්ෂය පරාජයෙන් වියරු වැටිලා. ඒ අයට කියන්න තිබෙන්නේ ඔය වගේ කතා තමයි. එහෙම නැතුව ජනතාව ඉදිරියට ගිහින් මොනවද කියන්නේ. අඩුමගානේ පක්ෂේ ගැන කතා කරන්නද, නායකත්වය ගැන කතා කරන්නද, නායකයා තමන්ගේ සමාජිකයින් ගණන් ගන්නේ නැහැ. සාමාජිකයෝ නායකත්වය ගණන් ගන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂ ඉතිහාසයේ කිසිම දවසක නොවුන දේවල් අද වෙනවා. නාම යෝජනා නොදුන්නම පක්ෂයේ මන්ත්‍රීවරයෙක් නායකයට ගහනවා. නාම යෝජනා මණ්ඩල පෙරළනවා. අඩුම ගානේ පක්ෂය ආරක්ෂා කරගන්න, විනය ආරක්ෂා කරගන්න බැරුව වෙන අය ගැන කතාකරනවා.

අනෙක් පිරිස ජනතා විමුක්ති පෙරමුණ ඒ අය මොනවද රටට කළේ එල්. ටී. ටී. ඊ එකට නොදෙවැනි විනාශයක් කළා. අද සෝමවංශ අමරසිංහ මහත්තයා ඉවත් කරලා තව කෙනෙක් දාලා ගොඩ එන්න උත්සහ කරනවා. දැන් දාපු කෙනා ගැනත් මිනිස්සු දන්නවා. තව තව අය ඉන්නවා. ඒ අය වේදිකාවකට නැගලා සතුන්ගේ නම්, කුණුහරුප කතා කරනවා. එහෙම අය තමයි දූෂණය, අක්‍රමිකතා කතාකරන්නේ. ගාල්ලේ ජනතාව වගේම දකුණේ ජනතාව ෂාන් විජේලාල් ද සිල්වා කවුද කියලා දන්නවා. අපේ මිනිස්සුන්ට නම් මේවා විහිළු කතා විතරයි. ඒ ඇරත් දකුණේ ජනතාවට මේ අය කියන විකාර කතා අහ අහ ඉන්න වේලාවක් නැහැ.

* දකුණු පළාත් සභාවෙන් ඇත්තටම දකුණට මොනවද කළේ ?

විදුලිය, පානීය ජලය, මංමාවත් ඉදිකිරීම් පමණක් නෙවෙයි යටිතල පහසුකම් දියුණු කරන්න අප කටයුතු කර තිබෙනවා. ඒ වගේම අධ්‍යාපනය, සෞඛ්‍ය අතින් ඉහළ ජයග්‍රහණ රැසක් පසුගිය කාලය පුරාවටම අප අත්පත් කරගෙන තිබෙනවා. ජන ජීවිතය නඟා සිටුවන්න අවශ්‍ය ස්වයං රැකියා අවස්ථා පුළුල් කිරිම, ඒ වගේම අපේ ප්‍රදේශයන්ට සම්පතක්ව තිබෙන මුහුදු කලාප යොදාගෙන සංචාරක ව්‍යාපාරය දියුණු කර ඒ මඟින් සෘජු හා වක්‍ර රැකියා රැසක් දකුණේ ජනතාවට ලබාදී තිබෙනවා. අද ඕනම කෙනෙකුට දකුණු පළාතේ ඇවිද ගියානම් දකින්න බලන්න පුළුවන් අපි මොනවද කරලා තියෙන්නේ කියලා.

* පළාතටම සේවය කරන්න පුළුවන් පුද්ගලයෙක් තමයි මහ ඇමැතිවරයා ලෙස පත්කරන්නේ.එහෙත් මෙතෙක් පත්වුණ බොහොමයක් මහ ඇමැතිවරුන් තමන්ගේ දිස්ත්‍රික්කයට පමණයි සේවය කරන්නේ කියන චෝදනාව අනෙක් දිස්ත්‍රික්කවලින් නිතරම එල්ල වෙනවා. ඒ කියන්නේ ඔබගෙනුත් වෙන්නේ ඒ ටිකමද ?

මහ ඇමැතිවරයා ලෙස දෙවතාවක් මම සේවය කරලා තිබෙනවා. ඇත්තටම ඔය චෝදනාව කිසිම දවසක මට එල්ල වෙලා නැහැ. මම ගාල්ලට වගේම අනෙක් දිස්ත්‍රික්කවලටත් ඒ වගේම වැඩ කරලා තිබෙනවා. සෑම ආසනයකටම පළාත් සභාවට ලැබෙන විමධ්‍යගත අරමුදල නිසි අයුරින් බෙදා දී තිබෙනවා. ඒ වගේම අපේ පළාත් සභාව නියෝජනය කරපු සෑම මැති ඇමැතිවරයකුටම විමධ්‍යගත අරමුදලක් ලබා දී තිබෙනවා. ඒ අයත් ඒ මුදල්වලින් තම තමන්ගේ ප්‍රදේශවල විශාල සේවාවක් කරනවා.

* මැතිවරණ ජයග්‍රහණය පිළිබඳ ඔයතරම් විශ්වාසයකින් කතා කරන ඔබේ රජය ඇයි මැතිවරණ කටයුතු සඳහා රාජ්‍ය දේපළ හා රාජ්‍ය බලය යොදාගන්නේ ?

පළාත් සභාව විසුරුවා හැරීමත් සමඟ මම මගේ නිල වාහන වගේම ඊට අදාළ සියලුම දේපළ භාර දුන්නා. ඒ විතරක් නෙවෙයි වත්කම් බැරකම් ප්‍රකාශ පවා ලබාදුන්නා. අනෙකුත් මැති ඇමැතිවරුනුත් ඔවුන්ගේ අමාත්‍යාංශ යටතේ තිබුණ සියලුම දේපළ භාරදීම සිදුකළා. මම ඒ දේවල් පාවිච්චි කරනවා කියලා කවුරු හරි කියනව නම් එය ඔප්පු කරලා පෙන්වන්න කියලා ඒ කියන පිරිසට මම අභියෝග කරනවා. යම් ප්‍රචාරක කටයුත්තකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සහභාගි වෙනව නම් ඒ අය ඒ අයගේ නිල වාහන පාවිච්චි කරනවා. ඊට කාටවත් එරෙහි වෙන්න බැහැ.

* පසුගිය පළාත් සභා මැතිවරණයේදි එක්සත් ජනතා නිදහස් සන්ධාන දකුණු පළාත් සභා මැතිවරණය ජයග්‍රහණය කරන්නේ තුනෙන් දෙකේ බලයක් සහිතවයි. එහෙත් ඔබ සිතනවද ගියවර ජයග්‍රහණය මෙවර රැකගන්න පුළුවන් කියලා ?

2003 වසරේ පැවැති පළාත් සභා මැතිවරණයේදි මන්ත්‍රී ධූර 55 න් 28 යි අපිට හිමිවුණේ. විපක්ෂයට 27 ක් එහිදි හිමි වුණා. ඒ කියන්නේ එක් මන්ත්‍රී ධූරයයි අපිට වැඩියෙන් තිබුණේ. 2009 වසරේ පැවැති පළාත් සභා මැතිවරණයේදි මන්ත්‍රී ධූර 55 න් 38 ක් අපිට හිමි වුණා. සමස්ත විපක්ෂයට හිමි වුණේ 17 යි. එවර අපිට තුනෙන් දෙකේ බලයක් ලැබුණා. මෙවර අපි හයෙන් පහේ බලයක් අනිවාර්යෙන්ම ලබා ගන්නවා. එය කියන්නේ සාධක කිහිපයක් මුල් කරගෙන.

එකක් තමයි අපි දැවැන්ත සංවර්ධනයක් මේ වෙන විටත් කර තිබෙනවා. යුද්ධය අවසන් කර තිබෙනවා. පරිණත,බුද්ධිමත් මෙන්ම විවිධ වෘත්තීන් නියෝජනය වන අයුරින් හොඳ කණ්ඩායමක් ඉදිරිපත් කර තිබෙනවා. අනිත් කාරණය තමයි සටනක් දෙන්න විපක්ෂයක් නැහැ. දවසින් දවස විපක්ෂයේ පිරිස් අපි සමඟින් එකතුවෙමින් සිටිනවා. මොකද ජනතාව දන්නවා නිසි නායකත්වයක් නැති වැඩ පිළිවළක් නැති පක්ෂයක් සමඟ තව දුරටත් ඉදීමෙන් පලක් නැහැ කියලා.

* දකුණු පළාත් සභාවට ඉදිරිපත් වෙලා ඉන්න බොහෝ දෙනෙක් මමයි මහ ඇමැති මමයි මහ ඇමැති කිය කියා යනවා.

මම කතා කරන්න අකමැතිම මාතෘකාව තමයි මහ ඇමැති මාතෘකාව. මොකද මහ ඇමැති ධූරය කාටද දෙන්නේ කියලා තීරණය කරන්නේ අපේ පක්ෂයේ නායකයා ලෙස ජනාධිපතිතුමයි. එතුමා දුරදිග බලලා, නිවැරැදි තීන්දු ගන්න නායකයෙක්. අනිත් එක මේ වෙනකම් මහ ඇමැති කියලා කවුරුවත් නම් කරලා නැහැ. ඒ නිසා ඕනෙම කෙනෙකුට මනාප ටිකක් වැඩියෙන් ගන්න ඔයවගේ කතා කිය කියා යන්න පුළුවන්. ඒකේ වරදක් නම් මම දකින්නේ නැහැ. ඒ ඇරත් පක්ෂය ගන්න ඕනම තීරණයක් එක්ක වැඩ කරන් අපි සූදානම්. මොකද වෙන පක්ෂවල වගේ තනතුරුවලට මරා ගන්න පුරුද්දක් අපේ පක්ෂයේ අයට නැහැ.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා