පුරස්ථි ග්‍රන්ථියේ පිළිකා ඉවත් කරන්න රොබෝ යන්ත්‍ර යොදාගැනීමට අවධානය

පුරස්ථි ග්‍රන්ථියේ පිළිකා ඉවත් කරන්න රොබෝ යන්ත්‍ර යොදාගැනීමට අවධානය

පුරස්ථි ග්‍රන්ථියේ පිළිකා ශල්‍යකර්ම මඟින් ඉවත් කිරීම රොබෝ යන්ත්‍රයක් මඟින් සිදු කිරීමට කොළඹ ජාතික රෝහලෙන් ආරම්භ කිරීම කෙරෙහි අවධානය යොමුව ඇති බව ජන්‍ය මෞත්‍ර ලිංගික විශේෂඥ ශල්‍ය වෛද්‍ය මහාචාර්ය නෙවිල් පෙරේරා මහතා පවසයි.

පුරස්ථි ග්‍රන්ථියේ පිළිකා ඇති රෝගී පුද්ගලයන් වසරකට 100 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වන බවත් ඔවුන්ගෙන් වයස අවුරුදු 65 ට අඩු පුද්ගලයන් ශල්‍යකර්මයකට ලක් කිරීමෙන් සුව කළ හැකි බවත් ඒ මහතා කීය.

මේ වන විට පුරස්ථි ග්‍රන්ථියේ පිළිකා සඳහා කරන ශල්‍යකර්ම යතුරු සිදුරු මඟින් සිදුකරන අතර රො‍බෝ යන්ත්‍රය මඟින් එය වඩාත් නිවැරදිව හා සූක්ෂ්මව සිදු කළ හැකි බව ද ඔහු පැවැසුවේය.

රොබෝ යන්ත්‍රය මඟින් අභ්‍යන්තර ඉන්ද්‍රියන් විශාල කර බැලිය හැකි අතර එමඟින් සිරුරේ ඕනෑම අවයවයක ශල්‍යකර්මයක් නිවැරදිව හා සූක්ෂ්මව සිදු කළ හැකි යැයි ද ඒ මහතා ප්‍රකාශ කළේය.

විශේෂ රුධිර පරීක්ෂණයක් මඟින් පුරස්ථි ග්‍රන්ථිවල පිළිකාවක් ඇති විය හැකිදැයි යන්න කල් ඇතිව හඳුනා ගත හැකි නිසා රෝගීන්ට කල් ඇතිව ශල්‍යකර්මයක් මඟින් එම ග්‍රන්ථිය ඉවත් කර රෝගය සුව කිරීමේ හැකියාව පවතියි. මේ රො‍බෝ යන්ත්‍රය රුපියල් මිලියන 200ත් 250 ත් අතර වටිනාකමකින් යුක්ත වන බවත් මේ යන්ත්‍රය මිලදී ගෙන සැත්කම් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙන බවත් ඔහු පැවැසුවේය.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා