දැයට කිරුළ ප්‍රදර්ශනය දින 2 කින් දීර්ඝ කෙරේ

දැයට කිරුළ ප්‍රදර්ශනය දින 2 කින් දීර්ඝ කෙරේ

අටවැනි දැයට කිරුළ ජාතික සංවර්ධන මහා ප්‍රදර්ශනය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මාර්තු 1 වැනිදා මධ්‍යම රාත්‍රිය දක්වා දින දෙකකින් දීර්ඝ කැර ඇත.

කුලියාපිටිය අධ්‍යාපන කේන්ද්‍රස්ථාන තුනක් මුල්කොට අක්කර 162 ක බිමක් පුරා පැවැත්වෙන මේ මහා ප්‍රදර්ශනය නැරඹීමට පැමිණි දසලක්ෂ සංඛ්‍යාත ජනතාවට අමතරව තවත් ජනතාවට මෙය නැරඹීමට ඉඩකඩ දෙන්නැයි ජනපතිඳුන්ට කළ ඉල්ලීමට කන් දෙමින් මේ තීරණය ගත් බව ප්‍රදර්ශන කමිටු සභාපති සහ විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කෙළේය.

දැයට කිරුළ ප්‍රදර්ශන භූමියේ පිහිටි ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශයේ ප්‍රදර්ශන කුටිය අභියස ඊයේ (25) සවස පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී සියඹලාපිටිය මහතා මේ බව සඳහන් කෙළේය.

සෑම විටම ජනතාවගේ ඉල්ලීම්වලට කන් දෙන ජනාධිපතිතුමා කුමන අභියෝගකාරී තත්ත්වයක් මතු වුවත්, ජනතා ඉල්ලීම් ඉවත නොදමන නායකයකු නිසා මේ තීරණය ගත් බව ඇමැතිවරයා කීය.

දැයට කිරුළ මහා ප්‍රදර්ශනය නැරඹීමට 24 වැනිදා මධ්‍යම රාත්‍රිය වන විට 11,64,837 දෙනෙකු පැමිණි බව ද කියා සිටියේය. මේ මහා ප්‍රදර්ශනය නැරඹීමට ආ ජනගඟ ස්ත්‍රී පුරුෂ වශයෙන් වයස අවුරුදු 18ට අඩු හා වැඩි වශයෙන් පළාත් වශයෙන් සහ දිස්ත්‍රික් මට්ටමින් ද නිවැරදිව ගණන් බැලූ බව කී ඇමැතිවරයා, 6,94,791 ක් පිරිමින් ද, 4,70,046 ක් කාන්තාවෝ ද ප්‍රදර්ශනය නැරඹූ බව පෙන්වා දුන්නේය.

දීර්ඝ කළ දින දෙක ඇතුළත දී ජනතාවට සියලු දැනුම, විනෝදය, අවබෝධය ලබා‍දෙන ප්‍රදර්ශන කුටි එලෙසින්ම පැවැත්වෙන බවත්, අනිකුත් සියලු පහසුකම් ද එලෙසින්ම ජනතාවට ලබා දෙන බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

මේ ප්‍රදර්ශනය ඉතා සාර්ථකව ඉදිරියට ගෙන යෑමට සහයෝගය ලබා දුන් ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශය ප්‍රමුඛ සෑම ජනමාධ්‍ය ආයතනයක් ම, රාජ්‍ය හා පෞද්ගලික අංශවල සියලු නිලධාරීන් ද, යුධ, ගුවන්, නාවික, පොලිස් හා සිවිල් ආරක්ෂක බළකාවල පිරිස් ප්‍රධාන සෑම සියලු දෙනාටම සිය ගෞරවනීය ස්තූතියත් පුදකරන බවත්, ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය. මෙම අවස්ථාවට කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් එච්. එම්. පී. හිටිසේකර මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා