කුර හා මුඛ රෝගයෙන් සතුන් 84 ක් මිය ගිහින්

කුර හා මුඛ රෝගයෙන් සතුන් 84 ක් මිය ගිහින්

එළ ගවයින් ඇතුළු කුර සහිත සතුන් අතර සීඝ්‍රයෙන් පැතිර යන කුර හා මුඛ රෝගය දිස්ත්‍රික්ක අටක් පුරා පැතිර යන බවත්, මේ වන විට රෝගයට ගොදුරුව සතුන් 84 ක් මියගොස් තිබෙන බවත්, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ්ලිව්. කුමාර ද සිල්වා මහතා පවසයි.

රෝගය වාර්තා වූ දිස්ත්‍රික්ක අට තුළ කුර සහිත සතුන්ගේ මස් අලෙවිය තහනම් කළ බවත්, එම සතුන් මෙන්ම සතුන්ගේ මස් හා මළ අපද්‍රව්‍ය සෙසු දිස්‍ත්‍රික්කවලට ප්‍රවාහනය අත්හිටවූ බවත් ඒ මහතා කීය. අනුරාධපුර, ත්‍රිකුණාමලය, යාපනය, පුත්තලම, අම්පාර, වවුනියාව, මුලතිව් හා පොළොන්නරුව මෙම දිස්ත්‍රික්ක අට බව ද ඒ මහතා කීය.

මෙම දිස්ත්‍රික්කවලින් මේ වන විට රෝගය වැලඳුණු එළ හා මී ගවයින් 3364 ක් හඳුනාගෙන තිබෙන බවත්, රෝගයෙන් සතුන් 79 ක් මියගොස් සිටින බවත් කුමාර ද සිල්වා මහතා පැවසීය. මෙම රෝගයට ගොදුරු වූ බවට හඳුනාගත් ඌරන් 75 ක් අතරින් පස්දෙනෙකු මියගොස් ඇතැයි ද ‍හෙතෙම කීය.

රෝගයට ගොදුරු වූ ප්‍රදේශවල සිට කුර සහිත සතුන් මෙන්ම එම සතුන්ගේ මළ ද්‍රව්‍ය හා මස් ප්‍රවාහනය මගින් සෙසු දිස්‍ත්‍රික්කවලට රෝගය පැතිර යාමේ අවදානමක් පවතින බව ද ඒ මහතා පැවසුවේය. රෝගය පාලනය කිරීමට කඩිනමින් පියවර නොගතහොත් මෙරට ගව ගහනය සීග්‍රයෙන් අඩුවිය හැකි බව ද ආචාර්ය සිල්වා මහතා අවධාරණය කළේය.

වයිරසයක් මගින් ඇතිවන මෙම රෝගය සුළඟින් පවා ව්‍යාප්ත විය හැකි බවත්, රෝගය එක් පළාතකින් පළාතකට නොව රටකින් රටකට වුවත් පැතිර යා හැකි බව හෙතෙම කීවේය.

රෝගය වළක්වාලීමේ එකම ක්‍රමය නිසි කලට සතුන් එන්නත් කරවා ගැනීම බවත්, මෙරට කිරි නිෂ්පාදනයට ප්‍රබල දායකත්වයක් ලබාදෙන මධ්‍යම පළාත තවමත් මෙම රෝගයෙන් ආරක්ෂා වීම සතුටට කරුණක් බව ද ඒ මහතා කීය. විදේශ රටවලින් ආනයනය කළ උසස් තත්ත්වය දෙමුහුන් එළදෙනුන් නුවරඑළියේ ගොවිපොළවල සිටින බවත්, එම සතුන් නිසි වේලාවට එන්නත් කරවාගෙන රෝගයෙන් ආරක්ෂා කැර ගැනීම ඉතා වැදගත් බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා