ඩෙංගු යනු මදුරුවා සමඟ නොව ස්වභාව ධර්මයා සමඟ කරන සටනක්

ඩෙංගු යනු මදුරුවා සමඟ නොව ස්වභාව ධර්මයා සමඟ කරන සටනක්

- සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන

ඩෙංගු යනු මදුරුවා සමඟ කරන සටනක් නොව ස්වභාව ධර්මයා සමඟ කරන සටනක් බව සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ස්වභාව ධර්මය සමඟ සටන් කිරීම ලේසි පහසු නොවන බවත් කාලගුණික දේශගුණික තත්ත්වය අනුව ඩෙංගු මදුරුවාගේ බෝ වීම ඉහළ පහළ යන බවත් ඇමැතිවරයා කීය.

ඩෙංගු රෝගයේ වර්තමාන තත්ත්වය පිළිබඳ මාධ්‍යවේදීන් දැනුවත් කිරීම සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය සම්මන්ත්‍රණයේ දී ඊයේ (25) මේ බව පැවැසුවේය.

ඇමැතිවරයා මෙසේ ද ප්‍රකාශ කළේය. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඩෙංගු මර්දන කටයුතු සඳහා ජනාධිපති කාර්ය සාධක බළකාය පිහිටුවීමත් සමඟ ඩෙංගු මදුරුවන්ගේ ‍බෝ වීම යම්තාක් මට්ටමකට අ‍වම කර ගැනීමට හැකි වුණා.

පාසල් දරුවන් සහ මාධ්‍යවේදීන් දැනුවත් කිරීම සඳහා කාලානුරූපව මෙවැනි සම්මන්ත්‍රණයක් පැවැත්වීම ඉතා වැදගත් වෙනවා. ඒ සඳහා ජනමාධ්‍ය ඇමැතිවරයාටත්, ජනමාධ්‍ය ලේකම්වරයාටත් ස්තුතිවන්ත වෙනවා.

‍‍ඩෙංගු රෝගය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් දැනුවත් කිරීම කාලෝචිතයි. මේ විෂය සම්බන්ධයෙන් ද ඔවුන් දැනුවත් කිරීම අවශ්‍යයි. මුළු මහත් සමාජයක අනාගතය ගොඩනැඟීම සඳහා මාධ්‍යවේදීන්ගෙන් විශාල දායකත්වයක් ලබා දෙනවා. දේශපාලනඥයන් ලෝකය පාලනය කරනවාට වඩා ලෝකය පාලනය කරනු ලබන්නේ වාණිජ්‍ය පුද්ගලයන් සහ මාධ්‍යවේදීන්.

මාධ්‍යවේදියකුට තම දැනුම සහ පෑන මෙහෙයවීමෙන් ආණ්ඩුවක් හදන්නත්, ආණ්ඩුවක් වට්ටන්නත් පුළුවන්. සමාජයට නිවැරදි පණිවිඩයක් ලබාදීම මාධ්‍යවේදියකුගේ වගකීමක්. ඩෙංගු මදුරු උවදුරට වගකිව යුත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශය පමණක් ද යන්න සොයා බැලීමට ඔබට අවස්ථාව ලැබෙනවා.

මැලේරියා රෝගය මෙරටින් තුරන් කිරීම සඳහා වසර 85 ක පමණ කාලයක් ගත වුණා. ඩෙංගු රෝගය තුරන් කිරීමත් අප ක්‍රම ක්‍රමයෙන් සිදු කරමින් පවතිනවා. මේ සඳහා ප්‍රජාවේ සෑමදෙනාගේම සහාය වැදගත්. එක් අමාත්‍යාංශයකට පමණක් ඩෙංගු මර්දනය කිරීම පැවැරීම නිවැරදි නැහැ.

සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් රෝගීන්ට කළ යුතු සියලුම ප්‍රතිකාර ලබා දෙනවා. මීගමුව රෝහලේ සහ අංගොඩ උණ රෝහලේ කිසිදු ඩෙංගු රෝගියෙක් මරණයට පත් වුණේ නැහැ. එම රෝහල්වල වෛද්‍යවරු සහ හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය උපරිම කැපවීමෙන් රෝගීන් රැක බලා ගැනීම නිසා මරණ සංඛ්‍යාව අඩු කර ගැනීමට හැකි වුණා.

ශ්‍රී ලංකාවට ආසන්න රටක් වන සිංගප්පූරුවෙත් ඩෙංගු මදුරු උවදුර බරපතළ ලෙස පැතිර ගොස් තිබෙනවා. ඒ රටේ තාක්ෂණය කොතරම් දියුණු වුවත් ඩෙංගු රෝගීන්ගේ වාර්තා වීම අවම කර ගැනීමට නොහැකි වී තිබෙනවා. ඩෙංගු මදුරුවන් බෝ වීම පාලනය කිරීම තිබෙන්නේ අප සතුවමයි. තමන් ජීවත් වන අවට පරිසරය මදුරුවන්ට බෝ වීමට නොහැකි වන ලෙස පිරිසිදුව තබා ගන්නේ නම් මේ රෝගයෙන් ආරක්ෂා වීමට පුළුවන්.

මේ අවස්ථාවට සෞඛ්‍ය ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ වසන්තප්‍රිය රාමනායක, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ හිල්මි මොහොමඩ්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල, සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය නීලමණී හේවාගීගන, ජාතික ඩෙංගු මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය හසිත තිසේරා මහත්ම මහත්මීහු ද සහභාගී වූහ.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා