දුම්රිය නියාමකවරයෙක් කුණු බක්කියක් උස්සා දැලේ

දුම්රිය නියාමකවරයෙක් කුණු බක්කියක් උස්සා දැලේ

දුම්රිය දෙපාර්තමේන්තුවේ වැටුප් සහ අතිකාල වශයෙන් මසකට රුපියල් ලක්ෂයකට ආසන්න වැටුපක් ලබන දුම්රිය නියාමකවරයෙක් පෙරේදා (24) මරදාන දුම්රිය ස්ථානයේ තිබූ කුණු බක්කියක් සොරකම් කර පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

එම සැකකරු සමඟ කුණු බක්කිය මරදාන දුම්රිය ස්ථානයෙන් පිටකර ර‍ැගෙන යාම සඳහා සහාය වූ ලොරි රියැදුරකු සහ ගෝලයකු ද මරදාන පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

රජයේ පොදු දේපොළ පනත යටතේ කුණුබක්කිය සොරකම් කර රැගෙන යාම පිළිබඳ එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ මරදාන දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයා විසින් කරන ලද පැමිණිල්ලකට අනුවය.

මරදාන දුම්රිය ස්ථානයේ වේදිකාවක තබා තිබු එම කුණු බක්කිය දුම්රිය නියාමකවරයා විසින් ගෙන ගොස් ඇත්තේ ගෝලයන්ගේ ද සහාය ඇතිව මරදාන දුම්රිය ස්ථානයේ 11 වැනි වේදිකාවට නුදුරුව පිහිටි හොර පාරකින් බවද අනාවරණය වී තිබේ.

ලැබුණු පැමිණිල්ල මත පොලිසිය මරදානේ දුම්රිය නිල නිවාසයක පදිංචිව සිටි සැකකාර නියාමකවරයා‍ෙග් නිවසේ තිබී එම කුණු බක්කියක් සොයාගෙන ඇත. මෙම දුම්රිය නියාමකවරයා සහ සැකකරුවන් ඊයේ (25) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

මෙම නියාමකවරයාට පොදු දේපොළ සොරකම් කිරීම සම්බන්ධව චෝදනා එල්ල වී ඇත. ඒ අනුව ඔහුගේ සේවය තහනම් වුවහොත් වැඩ වර්ජනයක් කිරීමට සෙසු දුම්රිය නියාමකවරු පිරිසක් ඊයේ සාකච්ඡා කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. මරදාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සූරියබණ්ඩාර මහතාගේ උපදෙස් මත පරීක්ෂණ සිදුකෙරෙයි.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා