ජීවිතයේ අත්විඳින්නට සිදුවෙන දේවල් සමබරව සිතන්න හැකිවන්නේ ක්‍රීඩාවෙන්

ජීවිතයේ අත්විඳින්නට සිදුවෙන දේවල් සමබරව සිතන්න හැකිවන්නේ ක්‍රීඩාවෙන්

එජනිස අපේක්ෂිකා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර

ජීවිතයේ අත්විඳින්නට සිදුවෙන දේවල් පිළිබඳ සමබරව සිතන්න හැකිවන්නේ ක්‍රීඩාවෙන් ලබන අත්දැකීම් ඔස්සේ යැයි මැද කොළඹ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම සංවිධායිකා කොළඹ දිස්ත්‍රික්ක එ.ජ.නි.ස. අපේක්ෂිකා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය ප්‍රකාශ කළාය.

හිරුණිකා මෙනවිය තරුණ පිරිස සමඟ සුහද කතා බහක යෙදී සිටි අයුරු‍.
ඡායාරූප - ගයාන් පුෂ්පික

ප්‍රේමචන්ද්‍ර මෙනවිය මේ බව ප්‍රකාශ ‍කළේ ඉකුත් (25) තරුණ තරුණියන් ඇගේ ප්‍රධාන කාර්යාලයේදී හමු වූ අවස්ථාවේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වු ඇය මෙසේද පැවසුවා ය. ක්‍රීඩාව මානසික සමබරතාව වගේම නිරෝගිකම රැකගන්න පිටුවහලක් ඇති කරන බැවින් පාසැල් යන සෑම දරුවෙකුම කුමන හෝ ක්‍රීඩාවකට කැමැත්ත පරිදි යොමු කරනවා නම් රටට යහපත් මෙන්ම නිරෝගී ජවසම්පන්න තරුණ පරපුරක් ගොඩනගා ගත හැකියි.

අද සමහර තරුණ තරුණියන් තම ජීවිතයේ ඇතිවන නොයෙකුත් ගැටලු නිසා විවිධ පීඩාවන්ට ලක් වෙන අතර සමහරුන් තම ජීවිතය පවා විනාශ කරගන්න පෙළඹෙනවා.

යම් ක්‍රීඩාවක යෙදුණ අයකු කවදාවත් ඒ තත්ත්වයට පත්වෙන්නේ නැහැ. ඔහුට හෝ ඇයට ජීවිතයේ ඕනෑම අවස්ථාවකට මුහුණදීමේ ආත්ම ශක්තිය ති‍බෙනවා. මගේ පියා මාව සහ මගේ සහෝදරයාවත් ක්‍රීඩාවන්ට යොමු කළේ දැඩි උනන්දුවකින්. ඊට ම‍වගේ ආශිර්වාදයත් ලැබුණා.

මෙසේ ක්‍රීඩාවන්ට යොමු නොවීමෙන් විශේෂයෙන් අප ජීවත්වෙන නාගරික ප්‍රදේශවල තරුණ පිරිස් මත්කුඩු සහ මත්ද්‍රව්‍ය ඇතුළු නොයෙකුත් විෂමාචාරවලට හුරු පුරුදු‍වීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙන අතර ඒ දේවල්වලින් මිදී යහපත් දිවිපැවතුමක් ගෙන යන්න ක්‍රීඩාව මහගු අවස්ථාවක් උදාකර දෙනවා.

මේ සම්බන්ධව පළාත් සභාව තුළ කාගේත් සහයෝගය ඇතිව ශක්තිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට බලපොරොත්තු වන අතර ක්‍රීඩාවන් නැංවීම මගින් සුවිශේෂි වාසි රටට අත්වෙන බව පෙන්වා දුන් ඇය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිරන්තරයෙන් පවසන පරිදි අපේ දරුවා කුඩා අවදියේ වගේම තරුණ වයසේදීත් රැක බලාගන්න දෙමව්පියන් උත්සුක විය යුතුයි. අපේ තරුණ පරපුර සුරක්ෂිත කරගනිමින් අදට වඩා හෙට දි‍නයේ සාර්ථකව ජාත්‍යාන්තරය දිනා ගැනීමේ පිරිසක් බවට පත් කර ගනිමු යැයිද ඇය පැවසුවාය.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා