ආරක්ෂක සේවා විද්‍යාලයීය පළමු ත්‍යාග ප්‍රදානෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

ආරක්ෂක සේවා විද්‍යාලයීය පළමු ත්‍යාග ප්‍රදානෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

උපන් මාතෘභූමිය වෙනුවෙන් දිවි හිමියෙන් සේවය කළ වීරෝධාර රණවිරුවන්ගේ දූ පුතුන්ගේ අනාගතය වෙනුවෙන් ස්ථාපිත කළ ආරක්ෂක සේවා විද්‍යාලයීය පළමු ත්‍යාග ප්‍රදානෝත්සවය ජනාධීපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) පැවැත්විණි.

විෂය සමඟාමී ක්‍රියාකාරකම් මෙන්ම විෂය භාහිර ක්‍රියාකාරකම් වලින් විශිෂ්ධ දක්ෂතා දැක්වූ රණවිරු දූ දරුවන් මෙහිදී ජනාධිපතිවරයා අතින් සම්මාන හා සහතිකපත් හිමිකර ගත් අතර ඊට සමඟාමීව එම විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකළ පස් මහත් ගොඩනැඟිල්ල විවෘත කිරීමද සිදුවිණි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයකට සහ රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මග පෙන්වීමට අනුව 2007 වසරේ ජනවාරි මස 17 දා ආරම්භ කරන ලද කොළඹ කොම්පඤ්ඤ වීදියේ පිහිටි ආරක්ෂක සේවා විද්‍යාලය අද වනවිට මේ රටේ සෙසු විද්‍යාලයන්ට සාපේක්ෂව දිගු ගමනක් පැමිණ තිබේ.

මාතෘභූමියේ නිදහස වෙනුවෙන් ජීවිත පූජාකළ, ආබාධිත තත්ත්වයට පත් වීරෝධාර රණවිරුවන්ගේ දරු දැරියන් වෙනුවෙන් රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව ඉදිකළ මේ විද්‍යාලය ආරම්භයේදී ගුරුවරුන් සංඛ්‍යාව පහක් වුවද මේ වනවිට එය 85 දක්වා වර්ධනය වී තිබේ. ඊට අමතරව අද වනවිට ශිෂ්‍ය සංඛ්‍යාව 1,928 දක්වා ඉහළ ගොස් ඇත.

කොට්ඨාශ, කලාප, පළාත් මෙන්ම සමස්ත ලංකා මට්ටමින් විවිධ අංශයන්ගෙන් දක්ෂතා දැක්වූ දරු දැරියන් මෙහිදී සම්මාන හා සහතික පත් ලබාගත් අතර ඊට අමතරව පසුගිය වසරේදී දින පහකට අඩුවෙන් නිවාඩු ලබාගත් ගුරු මහත්ම මහත්මීන්ද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් සම්මාන හිමිකර ගත්හ.

මේ ත්‍යාග ප්‍රදානෝත්සවයට සමඟාමීව ලේක්හවුස් ආයතනය සමඟ එක්ව සම්පාදනය කළ "විරුවිදු පියස" පුවත්පත එළිදැක්වීමද එම විද්‍යාලයීය නිල වෙබ් අඩවිය වන www.dsc.sch.lk වෙබ් අඩවිය එළිදැක්වීමද මෙහිදී සිදුවිය. ආරක්ෂක සේවා විද්‍යාලයීය පළමු ත්‍යාග ප්‍රදානෝත්සවය වෙනුවෙන් සහභාගි වූ ජනාධීපති මහින්ද රාජපක්ෂ මහතාට මෙහිදී එම විද්‍යලයෙන් විශේෂ තිළිණයක් පිළිගැන්වීමද සිදුවිණි.

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මොහාන් ලාල් ග්‍රේරු, රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, ආරක්ෂක සේවා විද්‍යාලයීය විදුහල්පති ප්‍රමුදිත වික්‍රමසිංහ, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ජගත් ජයසූරිය, යුද හමුදාපති ලුතිනන් ජනරාල් දයා රත්නායක, ගුවන් හමුදාපති එයාර් වයිෂ් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම, පොලිස්පති එන්.කේ ඉලංගකෝන් මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා